හුළු අතු පත්තු කරන් රෑටත් පාසල් යන අලියා වැටුණු ඇල්ලේ මිනිස්සු වැටුණු තැන

August 9, 2017 | 12:27 pm    0   423

හුළු අතු පත්තු කරන් රෑටත් පාසල් යන අලියා වැටුණු ඇල්ලේ මිනිස්සු වැටුණු තැන

අලියා වැටුණ ඇල්ල ගම්මානය ගැන අපට මුලින්ම කිව්වේ මඩුල්ල විද්‍යාලයේදී හමුවූ තිලක් රූපසිංහයි. 2016 වසරේ උසස්පෙළට සුදුසුකම් ලැබීමේ ප්‍රතිශතය අනුව ලංකාවේ 42 ස්ථානය හිමි කරගෙන සිටින මඩුල්ල විද්‍යාලයේ උසස්පෙළ සමත්වීමේ ප්‍රතිශතය සියයට 100කි. ඒ ජයග්‍රහණය ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ පාසල් වේලාවෙන් පසුව නැවත සවස 5ට පාසල පටන්ගෙන රාත්‍රි 10 දක්වා විද්‍යාලය තුළම අමතර පන්ති පැවැත්වීමෙනි. අද වන විට රාත්‍රී විද්‍යාලය නමින් ප්‍රචලිත මෙම විදුහලේ ගුරුභවතුන් ඒ සඳහා දරුවන්ගෙන් කිසිඳු මුදලක් අයකර නැත.

රාත්‍රි 10ට පන්ති හමාර වීමෙන් පසුව දරුවන් කැටුව යාම සඳහා දෙමාපියන් පැමිණීම සාමාන්‍ය පුරුද්දකි. තිලක් රූපසිංහ තම දරුවා කැටුව යාම සඳහා එදින රාත්‍රියේ පාසලට පැමිණ සිටි එක් පියෙකි. ඔහු අප සමඟ දොඩමුලු වූයේ මේ ලෙසිනි.

“මහත්තයෝ මම දරුවන් ඇන්න මොරහෙලට ත්‍රීවීල් එකකින් ගිහින් එතන ඉඳලා කිලෝ මීටර් දෙකහමාරක් විතර පයින් යන්න ඕනි ගමට. ඒ කියන්නේ අලියා වැටුණ ඇල්ලට. මේ රාත්‍රි යාමේ කියලා නෑ හුඵ අතු බැදගෙන අපි යනවා තවත් දරුවොයි දෙමාපියොයි එක්ක. දරුවන්ට උගන්නලා මේ අපායෙන් එගොඩ කරන්න ඕනි නිසාම අපි මේ දුෂ්කරතාවය විඳිනවා. මඩුල්ල ඉස්කෝලේ ප්‍රින්සිපල් මහත්තයයි, ගුරුවරුයි සෑහෙන මහන්සියක් ගන්නවා මේ දරුවන් විභාගවලින් සමත් කරවලා තැනකට එක්කන් යන්න. අපිට තියෙන එකම සැනසීම ඒක තමයි මහත්තයෝ….”

රාත්‍රි 10 වන විට දරුවන් කැටුව යාමට දෙමාපියන් විවිධ ආකාරයෙන් පැමිණ සිටිනු දක්නට ලැබුණි. සමහරුන් ත්‍රීරෝද රථ, මෝටර් සයිකල්වලින් පැමිණ දරුවන් කැටුව යද්දි බොහෝ දෙනා අඳුර මැදින් පයින්ම යන ආකාරය අප නිරීක්ෂණය කළෙමු. ඒ අතර අලියා වැටුණ ඇල්ලට මේ රාත්‍රි යාමේ සතා සර්පයා මැද, ගල් මුල්වල පය හැපි හැපී පයින් යන දරුවන් අපට මතක් වූයේ නිරායාසයකිනි. ඒ අනුව පසුදාම අලියා වැටුණ ඇල්ල ගම්මානයට යාමට අප තීරණය කළෙමු.

අලියා වැටුණ ඇල්ල ගම්මානයට යාමට මග පෙන්නූ සනත් හේමචන්ද්‍ර මොරහෙලින් බැස පයින් යන ගමනේදී ගම්මානය පිළිබඳව අප දැනුවත් කළේය.

“අලියා වැටුණ ඇල්ල, මදුවැල්කැටිය, උඩලියද්ද, මොරහෙල, ගල්ගොඩයාය කියන මේ ගම් ඔක්කොම අයිති වෙන්නේ 527-බී මොරහෙල ග්‍රාමනිලධාරි වසමට. අපි ජීවත් වෙන්නේ ගොවිතැනින්. ගම්මිරිස්, වී, වගේම බෝංචි වගේ එළව`ඵ වර්ගත් කොස් දෙල් වගේ දේවලුත් මෙහෙ හොඳට වැවෙනවා. මේ හැම දෙයක්ම අපිට වෙළඳ පොළට අරන් යන්න වෙලා තියෙන්නේ කරමතින් කිලෝ මීටර් හතරක් පහක් පයින් උස්සගෙන ගිහින් තමයි. ඒ වගේ දුෂ්කර තත්ත්වයක් මත තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ ගමට කිසිම මාර්ග පහසුවක් නැති නිසයි. ලෙඩෙක් පවා ගොඩක් දුර පාරට උස්සන් යන්න ඕනි. මරණයක් වුණත් ගෙනියන්න අපි දුෂ්කරතා විඳිනවා. වැස්ස කාලෙට නම් මේ පාරේ කොහොමත්ම යන්න බෑ. තනිකර අගලක් වෙනවා. ඒ වුණාට තවමත් මේ ගැටලුව ඉවර වෙන පාටක් නම් නෑ.”

ඇත්තෙන්ම මේ මාර්ගය අතිදුෂ්කරතාවලින් පිරී පැවතුණි. පාසල් යන දරුවන් එක් දිනකට හතර වතාවක් උඩට පල්ලෙහාට කිලෝමීටර් 10ක පමණ දුරක් ගමන් කිරීම බොහෝ අයට හිතාගැනීමටත් අපහසු කාරණයක් වනු ඇත. එහෙත් එය සත්‍යයක් බව නැවත නැවතත් අපට පසක් කර දුන්නේ එදින ගම්මානයේදි අපට හමුවූ මඩුල්ල විද්‍යාලයේ ඉගෙනුම ලබන බුද්ධිමාලි දියණියයි.

“මම මඩුල්ලේ ඉස්කෝලේ යන්නේ පයින්. මගට ගිහින් තමයි බස් එකට නගින්න ඕනි. සමහර වෙලාවට ඉස්කෝලෙට යනකොට පරක්කු වෙලා. එකහමාරට ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට තුන විතර වෙනවා. තියෙන දෙයක් කාලා වෙන ඇඳුමක් ඇදගෙන පහ වෙන කොට ආයේ ඉස්කෝලෙට යනවා රෑ පන්තියට. රෑ දහයට අපිව එක්කන් යන්න අම්මලා තාත්තලා එනවා හුඵ අතු පත්තු කරගෙන. වෙන කරන්න දෙයක් නැති නිසා මේකේ එනවා. වහිනදාට අපි ඉස්කෝලේ යද්දි පාරේ පාටෙයි අපේ සුදු ගවුමේ පාටෙයි කිසි වෙනසක් නෑ. සුදු ගවුම කියලා කිව්වට ඒකේ සුදු පාට පොඞ්ඩක්වත් නෑ. මඩම මඩ පාටයි. සුදුපාට හොයා ගන්නවත් නෑ. ඒ තරමටම අපි දුක් විඳිනවා. මේ රටේ ඉහළටම එන්න පු`ඵවන් මිනිස්සු අපේ ගමෙත් ඉන්නවා. හැබැයි ඒ අයට ඉහළට එන්න හරි හමන් පාරක් නෑ. අපි කියන්න තියෙන හැමෝටම කිව්වා. ඒ වුණාට කවුරුවත් හැරිලාවත් බලන්නේ නෑ. මම වැඳලා ඉල්ලන්නේ මේ පාර අපිට හදලා දෙන්න කියලයි.”

දෙඅත් එක් කොට වැඳ ඇය පැවසුවේ ඇඬූ කඳුළිනි. ඇයත් දරුවෙකි. එහෙත් ඇය එක් දිනක විඳින දුක වේදනාව මේ ගැටලුවලට පිළියම් සෙවිය යුතු බලධාරින්ගේ දරුවන් තම මුඵ ජීවිත කාලයට නොවිඳින බව නම් කිසිඳු සැකයක් නැත. “අනාගතය අයිති දරුවන්ට….” “හොඳම දේ දරුවන්ට…” වැනි වැකිවල ඇති ව්‍යාජභාවය හොඳින්ම වැටහෙන්නේ බුද්ධිමාලි වැනි දරුවන්ගේ මේ කඳුඵ ඉදිරියේදිය.
ගම මධ්‍යයේ, මාර්ගය අයිනේ විශාල බෝක්කු බට හතරක් කැලෑවට යටවෙමින් තිබෙනු අප යන ගමනේදී නෙත ගැටුණි. ඒ පිළිබඳව විමසා බැලීමේදී මේ බොක්කු බට වනාහි විශාල ප්‍රචාරක් කරමින් සිදුකරන සමහර ජාතික මට්ටමේ ව්‍යාපෘතිවල ඇති අසාර්ථකභාවය පෙන්වන කැඩපතක් බව අපට පැහැදිලි කළේ අපත් සමඟ ගමන්ගත් වී. ජී. චාලිය.

“වලපනේ මාර්ග සතිය ජාතික වැඩසටහන යටතේ පාර හදලා දෙන්න කියලා මේ බෝක්කු බට හතර අපිට ගෙනත් දුන්නා. මුලින් කිව්වේ ඒවා නිකන් දෙනවා කියලා. අන්තිමේදී ඒවා නිල්දණ්ඩාහීන්නට ගෙනත් දාලා ගමට ගේන්න එක පවුලකින් රුපියල් දාහ ගාණේ එකතු කරා. ප්‍රාදේශිය සභා මන්ත්‍රීි කෙනෙක් මේ හරියේ ඉන්න පවුල් තිස් ගාණකගෙන් රුපියල් තිස් දහසකට වැඩි මුදලක් එකතු කරලා තමයි මේ බට ගෙනත් බෑවේ. අද ඒවා කැලෑ වැදිලා. දැනටමත් එක බටයක් විනාශ වෙලා. කාලයක් යනකොට අනිත් ඒවාටත් ඒ සෙතේම තමයි. ඔන්න අපේ පාරේ සංවර්ධනය. පාර හැදුවෙත් නෑ. මේ ගැන කාට කිව්වත් වැඩකුත් නෑ. රටේ සල්ලිත් විනාශයි. අපේ සල්ලිත් විනාශයි.”

ජාතික වැඩ සටහනේදී මේ මාර්ගයත් ප්‍රතිසංස්කරණය කළ එක් මාර්ගයක් ලෙස හඳුන්වනු නිසැකය. ඒ වෙනුවෙන් අත්පොලසන් ද බොහෝය. එහෙත් ක්‍රියාකාරකම් නම් හිස්ය. ඒ අපේ රටේ සංවර්ධනයේ හැටිය. ඒ නිසා තවත් බොහෝ කලක් අපි සංවර්ධනය වෙමින් පවතින රටක්ය. ඉතින් තවත් මොන කතාද? ඒ වුණත් ගම්වාසින්ගේ කතා අපිට නොඅසා සිටිමට නොහැකි විය. මේ ගම්මානයේ වෙසෙන ජේ. ජී. ජේමිස් කියු තවත් එවැනි කතාවකි.

“මේ ගම් රටට විශාල ආදායමක් ගෙන දෙන ගම්මාන. නමුත් කිසිම පහසුකමක් නෑ. පාරක් හදලා දෙනවා නම්, ප්‍රවාහන පහසුකම් දෙනවා නම් මීට වඩා ඉදිරියට යන්න පුඵවන්. ගම්මිරිස්, කෝපි, තේ, ගව සම්පත මේ ගම්මානයේ තියෙනවා. පාරේ තැන් තැන්වල සිමෙන්ති දාලා තියෙනවා. ඒවත් දැන් කැඩිලා. ඇමතිවරු හිටියට ඇමතිවරු කරලා දෙන්නේ නෑ. ඡන්දේ කාලෙට විතරක් එනවා. රජයේ නිලධාරි මහත්වරුන්ට වුණත් මේ ගම්මානවල ඇවිදින්න පහසුකම් නෑ…”

ඔහුගේ ඒ කතාවට තවත් දේ එකතු කලේ එහි සිටි සුමනරත්නයි..

“මේ ගම්මානයේ කුඩා තේ වතු 25 ක් විතර තියෙනවා. මමත් අක්කරයක් විතර තේ හදනවා. ඒ තේ දලු කඩලා සතියකට වතාවක් කිලෝ මීටර් පහක් විතර දුර අරන් යන්න ඕනි. ඒකට රුපියල් පන්සියයක් විතර යනවා. පාරක් නැතිකම නිසා තමයි එහෙම වෙන්නේ. අනිත් එක තමයි වතුර ප්‍රශ්නේ. කිලෝමීටර් තුන්කාලක් විතර, වතුර අපි කරේ අදින්න ඕනි කන්ද උඩට. ඒකටත් තවම විසඳුමක් නෑ…”

පානිය ජල ප්‍රශ්නය මතු කළ ඔහු අප කැටුව ගියේ පවුල් 35 ක් පමණ ජලය ලබාගන්නා උල්පත අසලටයි. කුඩා දිය පාරක් වූ ඒ උල්පත අසල ඒ වන විටත් ජලය ලබාගැනිමට දිගු පෝලිමක් විය. මේ එහි සිටි වී. ජී. ලීලා දැක්වු අදහසයි….

“අපි අවුරුදු ගණනාවක් මේ ගමේ තමයි පදිංචි වෙලා ඉන්නේ. වැස්ස එනකම්ම අපිට වතුර නෑ. එක එක තැන්වලින් ඇවිත් කියනවා වතුර දෙනවා කියලා. ඒත් තවම දෙන පාටක්වත් නෑ. අපි හැමදාම මේ විදිහට තමයි වතුර අදින්නේ. ඒත් ඉතින් මෙහෙම හැමදාම කරන්න බැරිවෙයි. මමත් ලෙඩෙක්. පවුල් 35 ක් ඉන්නවා මෙතනින් වතුර ගන්න. පෝලිමේ ඇවිල්ලා වතුර ගන්නේ. පංගුවක් රෑ වෙන කම් ඉන්නවා වතුර නාන්න එහෙම….”

පානීය ජලය ලබාගැනීම ද මේ ගම්මානවල ජනතාවට උග්‍ර ගැටලුවක් බව අප කළ නිරීක්ෂණයේදී පැහැදිලි විය. ඒ වන විටත් තම ඉඩමේ පිහිටි හිස් ළිඳ පෙන්වමින් ඩබ්. ජී. ඕදිරිස් එම කරුණ අපට තවත් පැහැදිලි කළේ මෙසේය…

“පවුල් 10ක් 15ක් වතුර බිව්ව මේ ළිඳෙන් අද අපිට බොන්න වතුර පොදක් ගන්න බැරිවෙලා තියෙනවා. වතුර ගේන්න හැතැප්මක් විතර පයින් යන්න ඕනි. බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. මට දැන් අවුරුදු 65ක් වෙනවා. ඒ අවුරුදු 65කටම අද තමයි මාධ්‍යයකින් කියලා හරි ඇවිත් අපේ දුක සැප බලපු පළවෙනි වතාව මේ. මේ පාරත් මම කපා ගත්තේ තනියෙන්. දේශපාලකයින් එන්නේ ඡන්දේ ගන්න විතරයි. ඒ ආවට පස්සේ ආයෙත් එන්නේ නෑ. කරන්න දෙයක් නෑ. අපේ කරුමේ කියලා හිතාගෙන ජීවත් වෙනවා.”

කරුමය වෙනස් කළ නොහැකිද? පසුගිය තිස් අවුරුද්දක් පැවති යුද්ධය අපේ කරුමය කියා සිතා දෙඅත් බැඳගෙන අප නිකන් සිටියේ නැත. ඒ වෙනුවෙන් සටන් කළෙමු. ජයග්‍රහණය ද ලැබුවෙමු. ජයපැන් බිව් නමුත් එකී ජයග්‍රාහකයින් අද පරාජිතයින් වී සිටින බව අපට සනාථ කළේ තවමත් යුද හමුදාවේ සේවයේ නියුතු මේ ගම්මානයේ වෙසෙන සෙනෙවිරත්නයි….

“මම දැනට වසර 22 ක් යුද හමුදාවේ සේවය කරනවා. ඒකෙන් වැඩි කාලයක් හිටියේ යුද බිමේ. අපි සටන් කරා. අපි දින්නා. ඒ විතරක් නෙමේ, රටේ සියලුම ජනතාවට උතුරට යන්න මාර්ගය සකස් කරලා දුන්නා. ඒ වුණාට අද අපේ ගමට එන මාර්ගය හදාගන්න බැරි වෙලා තියෙනවා. අපි මු`ඵ රටම සාමයෙන් එළිය කළා. ඒ වුණාට තවමත් අපේ ගම් අඳුරේ. ඒක තමයි අද තත්ත්වය. ජනතාව වෙනුවෙන් අපි සටන් කළාට, අපේ දුක වෙනුවෙන් සටන් කරන්න, අපිට සතුට උදා කරලා දෙන්න කවුරුවත්ම නැති එක ගැන නම් ඇත්තටම කණගාටුයි. අපිට නැති වුණාට කමක් නෑ. අපි ඉල්ලන්නේ අපේ අනාගත පරපුරට හරි යන්න එන්න මේ මාර්ගය සකස් කරලා, ගමට අවශ්‍ය අනෙක් පහසුකම් ටික ලබාදෙන්න කියලයි.”

සමාජය විසින් සාදා ඇති බොහෝ පම්පෝරි මාලිගා ඔහු එක පහරින් සුණුවිසුණු කළේය. ඒ සටන්කරුවන්ගේ හැටිය. ඔවුනට බොහෝ දේ කීමට තිබූ නමුත් කිසිවක් කීමට තරම් ධෛර්යක් අප තුළ නොවීය. අප අලියා වැටුණ ඇල්ලෙන් නික්ම ගිරිහෙල් මාවත පසුකරන විටත් ඔවුන් අප නොපෙනී යනතෙක් ඈත කඳුගැටය මත හිඳ බලා හිදිනු දක්නට ලැබුණි. තවත් බලාපොරොත්තුවක් ඔවුන්ගේ සිත් තුළ පැලපදියම් වී ඇති බව නම් නිසැකය. බොහෝ අය බලාපොරොත්තු කන්දක් ඇති කර මේ කන්ද බසිද්දි ඔවුන් මෙලෙසම බලා හිඳින්නට ඇත. එසේ බැස ගිය බොහෝදෙනා නැවත අලියා වැටුණ ඇල්ලට නොගිය බව නම් සහතිකය. එසේ නම් අපත් අයිති වන්නේ ඒ ගොන්නටමද….?

මේ ගැටලු සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්ද යන පැනය අප විමසූයේ වලපනේ ප්‍රාදේශිය ලේකම් අයි. එම්. සේනානායක මහතාගෙනුයි.

“මේ සම්බන්ධයෙන් මම මෙම ගම්මානවලට ගිහින් පරීක්ෂා කර බැලිමක් සිද්ධ කරන්නම්. ඊට පස්සේ තමයි මට යම් පිළියමක් යොදන්න පු`ඵවන් වෙන්නේ. කොහොම වුණත් මෙවැනි දුෂ්කර ගම්මාන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා ඉදිරියේදී ලැබෙන ප්‍රතිපාදනවලින් අවශ්‍ය පහසුකම් ලබාදෙන්න උත්සාහ කරන්නම්.”

සටහන හා ඡායාරූප – නුවරඑළිය සම්පත් ජයලාල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: