ළද බොළද, හිතුවක්කාර දඩබ්බර කෙල්ලොත් හොයන්නේ ආරක්ෂාකාරී ආදරණීය පිරිමියෙක්

February 28, 2017 | 12:44 pm    0   807

ළද බොළද, හිතුවක්කාර දඩබ්බර කෙල්ලොත් හොයන්නේ ආරක්ෂාකාරී ආදරණීය පිරිමියෙක්

කාලෙකට පස්සේ මහරගමට වහිනවා. වෙනදට යකාගේ කම්මල වගේ තොරතෝංචියක් නැතිව පුදුමාකාර ඝෝෂාවකින් පිරිලා තියෙන මහරගම මේ වෙලාවේ ගොඩක් තෙතබරිත වෙලා තිබුණේ. කුඩයක් අතේ නැති මිනිස්සු දාහක් දේවල් කිව්වත් කුඩයක් අතේ තියෙන මිනිස්සු හරි ආසාවෙන් ඒ වැස්ස යටින් එහා මෙහා ගියා. මුළු අහසම අඳුරු වෙලා බරවෙලා තිබුණත් සීතල ගුලිවෙලා තිබුණ ඒ අඳුරට ආසාවෙන් මමත් හෙමි හෙමින් ඇවිදගෙන ගියා. සමහරු චුරු චුරු වැස්සටත් තෙමෙන්න අකමැති වුණාට මම හරිම ආස කළා මහ වැස්සකදි වුණත් කුඩයක් යටින් ඇවිදන් යන්න.

“අනේ…. මගේ සෙරෙප්පුව” මගේ පිටිපස්සෙන් ඇහුණු ඒ කටහඬට මමත් හැරිලා බැලුවා. ඒ එකම කුඩේ යටින් යන ආදරවන්තයො දෙන්නෙක්. දෙන්නම තරමක් ලොකු බෑග් දෙකක් කරේ දාගෙන ඉන්නව මදිවට තව ලැප් දෙකෙකුත් උරහිසේ එල්ලගෙන. නො හිතපු වැස්සට අහුවෙලා ගැහැණු ළමයගෙ සෙරෙප්පුව කැඩිලා. මහවැස්සකදි ඇවිදන් යනකොට සෙරෙප්පුවක් කැඩුණ කෙනෙක්ම තමයි ඒ අත්දැකීම කොහොම ද කියල හොඳටම දන්නේ. බස් එකක් එනකම් හෝල්ට් එකට වෙලා හිටිය මට ඒ ගැහැණු ළමයට දැනුණ අපහසුතාවය සමීපව එයාගේ මුහුණෙන්ම දැකගන්න පුළුවන් වුණා.

කරේ තියෙන බෑග් එකත් උරේ තියෙන ලැප් එකත් එහෙමම අල්ලගෙන ඒ පිරිමි ළමය එහෙමම පහත්වෙලා ගැහැණු ළමයගෙ කැඩුණ සෙරෙප්පුව අතට අරගෙන මොනවදෝ කරන්න හදනවා. සමහර විට මොකක් හරි කරලා මේ ටික යා ගන්න සෙරෙප්පුව හදනව ඇති. වැස්සකදි මේ වගේ දෙයක් දකින එක සුලභ දර්ශනයක් වුණාට ඒක නෙමෙයි මේ කතාවේ රසවත්ම ටික…

එක සෙරෙප්පුවක් කකුලෙ නැති නිසා ඒ ගෑණු ළමයා කකුල උස්සගෙන හිටියා මිසක් ඒ කකුල බිම තිබ්බේ නැහැ. සමහර විට වැස්ස නිසා කුණු හෝදන් එන හින්දා ඒ වතුර අප්‍රසන්න ගතියක් එන්නත් ඇති. ඒක ඕනම ගෑණු ළමයෙකුට පොදු කාරණාවක් වෙන්නත් පුළුවන්. මේ විදියට කකුල උස්සන් හිටපු ගැහැණු ළමයා දිහා බලපු අර පිරිමි ළමයා එයාගේ කකුලේ දාගෙන හිටපු බාටා එක ගලවලා ගැහැණු ළමයට දාගන්න දුන්නා… එක කකුලක විතරක් බාට එක දාගෙන ඒ කොල්ලා කැඩුණ සෙරෙප්පුව හදන්න වුණා.
මේක කියෙව්වම සමහරුන්ට හිනායන්න පුළුවන්. ඒක මහ බොළඳ ආදර කතාවක් කියල සමච්චලයට හිනාවෙන්න පුළුවන්. ඒත් ඒක එහෙම නෙමෙයි. ඒ තමයි ආදරේ. හැම ගැහැණු ආත්මයක්ම හොයන කොල්ලෙක්ගේ ආදරේ. ළඳ බොළඳ කෙල්ලො වගේම හිතුවක්කාර දඩබ්බර කෙල්ලොත් හොයන්නේ ආරක්ෂාකාරී ආදරණීය පිරිමියෙක්. ඒක එහෙම නෙමෙයි කියන්න කාටවත් බෑ.

ගැහැණු ළමයි ගොඩක් ආදරේ කරන්නේ මේ ලෝකේ ඉන්න එකම පිරිමියා තමයි එයාගේ තාත්තා. ඒ මොකද කිව්වොත් ඒ තාත්තගෙන් ලැබෙන ආදරේ, ආරක්ෂා, උණුසුම වෙන කිසිම පිරිමියෙක්ගෙන් නො ලැබෙන නිසා. මේ නිසා තමන් ආදරේ කරන කොල්ලගෙනුත් හැම කෙල්ලම නො ඉල්ලුවත් බලාපොරොත්තු වෙන්නේ ඒ ආදරේ. ඒ ආරක්ෂාව. ආදරේ කරද්දි කෙල්ලො වැඩිපුරම රණ්ඩු වෙන්නෙ ඇයි ඔයා මං ගැන හොයන්නෙ නැත්තෙ. ඇයි ඔයාට මාව මතක් වෙන්නෙ නැත්තෙ කියලා විතරයි. කොල්ලෙක්ට ඒ දේට දෙන්න හේතු දාහක් තිබුණත් කවදාවත් කෙල්ලෙක් ඒ උත්තරවලින් සෑහීමකට පත්වෙන්නේ නැහැ.

මහ ගොඩක් තෑගිබෝගවලට වඩා සමහර කෙල්ලො බලාපොරොත්තු වෙන්නෙ තමන් ආදරේ කරන කොල්ලගේ අවධානේ විතරමයි. තමන් ගැන හොයල බලනවට, තමන්ව ආරක්ෂා කරනවට. ඒක ඕනම කෙල්ලෙක්ගේ නො සන්සිඳෙන ආශාවක්. පිරිමි ආදරේ ඇතුළේ නානාප්‍රකාර දේවල් හෙව්වට ගැහැණු ආදරේ ඇතුළේ හොයන්නෙ, ඉල්ලන්නෙ පිරිමියගෙ අවධානේ විතරමයි. ඒකයි ගැහැණුන්නේ ආදරේ ඒ තරමටම වෙනස් වෙන්නේ.

ආදරය කරන්න හැමෝටම පුළුවන්. ඒත් ඒ ආදරේ දැනෙන්න කරන්න හැමෝටම බෑ. සමහරු කියයි ආදරේ ඔප්පු කරන්න ඕන නෑ කියලා. ඒත් පෙම්වතුන් කාලේ ඔයාට බැරි නම් ඔයාගේ ආදරේ අනෙකාට පෙන්වන්න විවාහයෙන් පසුවත් ඔයාට බැරිවෙනවා ආදරේ පෙන්වන්න. සමහර විට අද විවාහ ගොඩක් දෙදරලා යන්න හේතුව ඒක වෙන්න ඇති. හදිස්සි වෙලා ජීවිතේට වැදගත්ම අය තෝරගන්න කලබල වෙන්න එපා. ඔයාගේ පුංචි පුංචි දේවල් ගැන පවා හොයලා ආදරේ කරන කෙනෙක් හොයාගන්න. හරිම කෙනා තෝරගන්න කොයිතරම් පරක්කු වුණත් කමක් නෑ. මොකද මේක ඔයාගේ ජීවිතේ නිසා.

උපුලි පුන්සරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: