ළමයි ළමයි වගේ වෙද්දි විදුහල්පති විදුහල්පති නොවුණෙ ඇයි? – නුවර කිංග්ස්වුඩ්

April 7, 2017 | 4:00 pm    0   171

ළමයි ළමයි වගේ වෙද්දි විදුහල්පති විදුහල්පති නොවුණෙ ඇයි? – නුවර කිංග්ස්වුඩ්

ශ්‍රී ලාංකීය අධ්‍යාපනය අවුරුදු දෙදහසක් තරම් පැරණි ඉතිහාසයකට උරුමකම් කියනවා වගේම, ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් මූලික අයිතිවාසිකමක් ලෙස සළකලා ව්‍යවස්ථාගත කරලත් තියනවා. ලෝක ජනගහන සාක්ෂරතාවය 92% වෙද්දි දකුණු ආසියාව තුළ වැඩිම සාක්ෂරතාවය හිමි රට බවට පවත්වන්නටත් ලංකාවට හැකියාව ලැබිලා තියනවා. මේකට ප්‍රධාන වශයෙන්ම ලංකාව තුළ පවතින අධ්‍යාපන ක්‍රමය බලපාලා තියනවා කියලා කියන්න පුළුවන්. ලෝකයේ ඕනම තැනක ඉහළ පිළිගැනීමක් තියන ලංකාව වගේ රටකින් අධ්‍යාපනයක් ලබන්න අපට අවස්ථාව හිමිවීමම වාසනාවක් කියලා කියන්න පුළුවන්. කළු-සුදු, උස-මිටි, දුප්පත්-පොහොසත් කිසිම භේදයකින් තොරව දරුවෙක්ට නොමිලේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය රජය විසින් ලබා දීමත් එක්ක 1 ශේ‍ර්ණියේ සිට 13 දක්වාත්, එතනින් එහාට රජයේ විශ්වවිද්‍යාල වරම් ලබන සියලු දරුවන්ට නොමිලේම ඉගෙනීමටත් පහසුකම් ලැබිලා තියනවා. මේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ලංකාවට හඳුන්වලා දෙන්නේ ඛ්.එ.එ. කන්නන්ගර මහත්තයා. 1931 ඉඳලා 1934 වෙනකම් එතුමා අපේ රටේ අධ්‍යාපන ඇමතිතුමා වෙලා හිටපු කාලේ බොහොම සංවිධානාත්මකව, පියවර ගණනාවක් ඔස්සේ ගෙන ආ වැඩපිළිවෙලක් තමයි නිදහස් අධ්‍යාපනය කියලා ආරම්භ වෙලා වර්තමානය දක්වා මේ විදිහට විකාශනය වෙලා තියෙන්නේ. මේ වෙනකොටත් ඉගෙනගන්න අවශ්‍ය පෙළපොත්, පාසල් නිලඇඳුම් පවා නොමිලේම දරුවන් අතට පත්වෙන්නේ නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙලේම කොටසක් විදිහට තමයි.
කොහොම වුණත් ඒ ඇති කරපු අධ්‍යාපන නිදහසට ගරු කිරීමක් විදිහට කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනයේ පියා කියලා ගෞරව නාමයකින් පවා හඳුන්වන්නත් සමාජය පෙළඹෙනවා. මේ නිදහස් අධ්‍යාපනය නිසා හොඳින් ඉගෙනගෙන ජීවිතය ජයගන්න බොහෝ දෙනෙක් ඒ ගැන කතා කරන්නෙ හරිම අභිමානයෙන්. හැබැයි ඒ අභිමානය තව පරම්පරා කීයක් ඉදිරියට ගෙනයාමට හැකිවෙයිද කියන ප්‍රශ්නාර්ථය මතු කරන ආකාරයේ සිද්ධියක් නුවර ප්‍රදේශයෙන් පහුගිය දවසක ආරංචි වුණා. ඒ පාසලේ සංවර්ධන සමිති මුදල් එකවර නොගෙවීම නිසා මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ සිසුන් 60 දෙනෙකුට පමණ මෙවර වාර විභාගයට පෙනී සිටීමේ අවස්ථාව අහිමි කිරීමත් එක්ක. ප්‍රශ්න පත්‍ර බෙදන අවස්ථාව වන විට අදාළ ගාස්තු නොගෙවා තිබීම හේතුවෙන් ඔවුන්ට පන්ති කාමරයෙන් පිටතට යන ලෙස විද්‍යාලයේ බලධාරීන් පැවසූ බව කියමින් අදාළ සිසුවෙකුගේ දෙමාපියන් මහනුවර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා. කෙසේ වෙතත් දෙමව්පියන් මෙලෙස කළ පැමිණිල්ලට අනුව සංවර්ධන සමිතියට මුදල් නොගෙවීම හා විභාගය අතර සම්බන්ධතාවයක් නොමැති බැවින් අදාළ සිසුන්ට විභාගයට පෙනී සිටීමට ඉඩ දෙන ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා විදුහල්පතිවරයාට කළ දැනුම්දීමෙන් අනතුරව ප්‍රශ්නය සමතයකට පත්වුණා.
ප්‍රශ්නය එලෙස සමතයකට පත්ව තිබුණේ ඊටත් වඩා ගැඹුරින් සිතිය යුතු ප්‍රශ්නයක් අපට මතු කරමින්. අපි කලින් කතා කළ විදිහට නම් මේක නිදහස් අධ්‍යාපන තියන රටක්! ඒ නිසා අපිට නොමිලේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ. පාසල් සංවර්ධන සමිතියට හැර වෙනත් කිසිදු අයුරකින් දරුවන්ගෙන් මුදල් ලබානොගන්නා බවට පාසලේ විදුහල්පතිතුමන් කියා සිටියත් මුදල් හේතුකොටගෙන දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උදුරාගැනීමට සිතීම කෙතරම් කණගාටුදායකද? මේ එක සිද්ධියක් පමණයි. මෙවැනි සිදුවීම් සාමාන්‍ය වුණ පාසල් කීයක් මේ මොහොතේ මුණිවත රකිනවා ඇත්ද? ලංකාවේ ජනප්‍රිය පාසලක් වූ පමණින් එහි එන සියලු දරුවන් ආර්ථික අඟහිඟකම්වලින් තොරවූවන් යැයි ලේබල් කිරීමට හැකියාවක් නැති බව බලධාරීන්ට නොසිතීම එක්වරක් නොව කිහිපවරක් සිතා බැලිය යුතු කාරණාවක්.
මීට ටික දිනකට පෙර රජයේ පාසල්වල දරුවන්ගෙන් මුදල් ලබාගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍ර ලේඛයක්ද නිකුත් කර ඇති අතර ඊට පටහැනිව කිසිවක් නොකරන බැවින් පාසල් සංවර්ධන සමිති මුදල් පමණක් මෙලෙස ලබාගන්නා බවත් විදුහල්පතිවරයා තවදුරටත් පවසනවා. කොහොම වුණත් පාසල් පරිපාලනය බාර වගකිවයුතු වැඩිහිටියන් වශයෙන් තම තමන්ගේ වගකීම් ගැන මීට වඩා අවධානය යොමු කළා නම් මේ ඉන්නේ දරුවන් බව ඔවුන්ට මේ තරමට අමතක නොවන්නටත් ඉඩ තිබුණා.
කෙසේ නමුත් එවැනි අමතර මුදල් ලබා නොදීම හේතුවක් කොටගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීමට ඉඩ හැරීම අනුමත කළ නොහැකි කාරණයක්. නිදහස් අධ්‍යාපනය හෑල්ලු කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමට එරෙහිව පසුගිය කාලය පුරාවට විශ්වවිද්‍යාල සිසුන් අරගය කළේ නිදහස් අධ්‍යාපන රැකගැනීමට විනා වෙනත් අරමුණකින් නොවෙයි. කොටසක් නිදහස් අධ්‍යාපන බේරාගැනීමට එලෙස අරගල කරද්දී තවත් වගකිවයුතු සමහරක් පිරිස දරුවන්ගේ එම අයිතිය මෙලෙස ප්‍රශ්න කිරීමට ලක්කිරීම අනාගත නිදහස් අධ්‍යාපනයට කරන අනතුරු හැඟවීමක්ද විය හැකියි.
නිදහස් අධ්‍යාපන භුක්ති විඳිම අපි සියල්ලන්ගේම අයිතියක්.
‘නිදහස් අධ්‍යාපනයේ අභිමානය’ අපි සියල්ලන්ටම හිමියි.
නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ වගකීමද ලාංකිකයන් වශයෙන් අපි සියල්ලන්ගෙමයි.
එනිසා රජයක් වශයෙන්, පාසලක් වශයෙන්, ගුරුවරුන්, දෙමව්පියන්, වැඩිහිටියන් වශයෙන් මෙන්ම, අධ්‍යාපනය ලබන සිසුන් වශයෙන් තමන්ගේ වගකීම් තවදුරටත් අවබෝධ කරගැනීම යළිත් මෙවැනි කණගාටුදායක සිද්ධීන් ඇති නොවෙන්නට හේතුවක් වනු නිසැකයි.
වගකීම ඔබේ අතේ!
රිද්මි පතිරණ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: