17 වැනිදා සිරිකොත දෙදරයි

August 14, 2017 | 1:57 pm    0   827

17 වැනිදා සිරිකොත දෙදරයි

එළඹෙන 17 වන බ්‍රහස්පතින්දා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව එම පක්ෂය රැස්වන උණුසුම්ම සහ අතිවිශේෂිතම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම බවට පත්වනු ඇති බව පක්ෂ අභ්‍යන්තර විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම රැස්වීම එජාප අභ්‍යන්තරය තවත් දැවැන්ත දෙදරීමකට ලක් කරනු ලබන රැස්වීමක් විය හැකි බව ද අනාවරණය වේ.
විශේෂයෙන්ම පක්ෂයට එරෙහිව පක්ෂය තුළම සිටිමින් කටයුතු කරන බවට චෝදනා එල්ල වන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා ඇමති ධූරයෙන් ඉවත් කිරීම සඳහා මේ වනවිට පිඹුරුපත් සකස් කරමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් අනාවරණය කළේය.

රවී කරුණානායක ඇමති ධූරයෙන් ඉල්ලා අස් වීමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වංචා චෝදනා ඇති පිරිසට එරෙහි පරීක්ෂණ යට ගැසීමත් එක්සත් ජාතික පක්ෂයේ මහා බල කනුවලට එල්ලවන සැලසුම් සහගත දේශපාලන ප්‍රහාරයන්ට පක්ෂය තුළ සිටින පිරිස්ම සහයෝගය ලබාදීමත් පිළිබඳව මෙහිදී කරණු හෙළිදරව් වීමට නියමිතව ඇත.
පක්ෂයේ තරුණ ඇමතිවරු සහ පසුපෙළ මන්ත්‍රීවරු මේ වනවිට විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කරමින් සිටින බව ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරයෙකු අප සමඟ සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය කැපවීමෙන් බිහිකළ ආණ්ඩුවේ බලය පිටස්තර බලවේගවල උවමනාවන්ට පාවා දෙමින් පක්ෂයේ අභ්‍යන්තර කෝන්තර නිර්මාණය කරමින් සිටින ප්‍රබල ඇමතිවරු තිදෙනෙකුට එරෙහිව මේ වනවිට පසුපෙළ මන්ත්‍රීවරු දත්ත රැස් කරමින් සිටින බවය. මේ අතර ලබන 17 වනදා මේ සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය ද දැඩි තීන්දුවක් ගැනීමට බලාපොරොත්තුවන බව ද ඔහු පැවසීය. මේ මොහොතේ නම් සඳහන් කරමින් මේ පිළිබඳව අදහස් දැක්වීම මෙම රහස් ක්‍රියාවලියට බාධාවක් වන බැවින් පසුවට ඒ පිළිබඳව අනාවරණය කිරීමට සූදානම් බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර 14 වනදා රැස්වීමේදී රවී කරුණානායක ඇමතිවරයා තමන්ට තනිව බැඳුම්කර චෝදනා එල්ල වී ඇති වූ තත්ත්වය පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට සූදානම් වන බව ද අනාවරණයවේ. මෙම කෘත්‍යාධාරි මණ්ඩල රැස්වීමේදී මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් ඇමැතිවරුන්ට ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ද බැඳුම්කර සිද්ධියට අදාළව එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් සහ ඇමතිවරුන්ගෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වීමේ ඉඩකඩ ඇති බව ද අනාවරණය වේ.

කෙසෙ වෙතත් මේ රතු එළි දැල්වීමේ වැඩිම බලපෑම විජේදාස ඇමතිවරයාට එල්ල වන අතර ඔහු ඇමති ධූරයෙන් නෙරපා හැරීම මෙම පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත. ඒ සඳහා පක්ෂයේ ඉහළ පෙළේ නායකයන්ගේ අනුමැතිය ද රහසේම ලැබී ඇති බවත් ඒ අනුව අතිශය තීරණාත්මක තීන්දු තීරණ කිහිපයක් මෙම කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ගනු ඇති බව එම පක්ෂ අභ්‍යන්තර විශ්වාස කටයුතු වැඩි දුරටත් අනාවරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: