පේෂලගේ අම්මා කියන අපි නොදන්න කතාව

January 22, 2018 | 8:35 am    0   164

පේෂලගේ අම්මා කියන අපි නොදන්න කතාව

මා ඔබ ඉපදුණ දා සිට මිය යන මොහොත දක්වා සිහියට නැගෙන චරිතයක් වේ නම් ඒ ඇයයි. ආදරය බොහෝ ඇති, ඒ ආදරයට උපමා මහගොඩක් ඇති නමුත් ඒ උපමාවලට කැටි කළ නොහැකි ආදරයක් වේ නම් ඒ ඇගේ ආදරයයි. කඳුළට ඉඩ නැති සිනහවට පමණක් ඉඩ ඇති හදවතක් වේ නම් ඒ ඇගේ හදවතයි. “අම්මා” මා ඔබ නිර්මාණය කළ ආදරයේ උල්පත. අප්‍රමාණ දරාගැනීමේ ශක්තියක් ඇති චරිතයක හිමිකාරිනිය අම්මායි. ජීවිත තක්සලාවේ දිසාපාමොක්වරිය මගෙයි ඔබගෙයි අම්මා. මා ඔබ වෙනුවෙන් දුක්වෙන, රක්ත රුධිරය මට ඔබට සුදු කිරි දහරා බවට හරවා පෝෂණය කළ මගේ ඔබගේ කුසගින්න ඇගේ කුසගින්නට වඩා දැනෙන මේ මහපොළොවේ ප්‍රේමණීයම පණ ගැහෙන හදවත ඇයයි.

මා ඔබ හඳුනන පුද්ගලයෙකු ගැන තවත් එක් පෙකෙණිවැලක හිමිකාරිනියක් අප සමග ‍ෙදාඩමළු වෙන අවස්ථාව. මේ රූපවාහිනී තිරය මත ඔබ මා දකින කටකාර නිවේදක ශිල්පියෙක්. දක්ෂ තබ්ලා වාදකයෙක් හා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් ලෙස කටයුකු කරන සංගීත් නිපුන් විශාරද පේශල මනෝජ්ට ජීවය දුන් ආදරණීය මව්තුමිය සමග ඔහුගේ ජීවිත කතාව සෙවූ අපූරු කතාන්දරය.

තම පුතු නිවසට පැමිණෙන තුරු බලා සිටින්නාක් මෙන් අප එනතුරු ද ඇය මග බලා සිටියේ අප්‍රමාණ ආදරයකිනි. අම්මලා කොහොමත් එහෙමය. සෑම දරුවෙකුටම තම ආදරය දක්වන්නේ තම දරුවෙකු ලෙසින්මය.

“එන්න පුතේ වාඩිවෙන්න. ගේ හොයාගන්න අමාරු වුණාද?”

අප නිවසට ගොඩ වූ විගස අහපු ප්‍රශ්න වැලට පිළිතුරු දුන් අප හරි බරි ගැසුණේ අම්මා සමග රටක් දන්න පුතු ගැන විතරක්ම නෙමෙයි අම්මා ගැනත් කතා කරන අටියෙන්.
ඒ අසලම සිටි ඇගේ ආදරණීය සැමියාට ද ඇය ආරාධනා කළේ කතාවට හූමිටි තබන්නටත් එක්කම විය යුතුයි. ඔහුත් ඇය අසලින් හිඳගත් පසු අපි ඇගේ අතීතයට ගියෙමු.
“මම ඉපදුණේ බදුල්ලේ. මට සහෝදරියෝ තුන්දෙනයි, එක සහෝදරයෙකුයි ඉන්නවා. බාලයා මල්ලි. වැඩිමලා මගේ අක්කා. මම පවුලේ දෙවැනියා. පවුලේ මමත් එක්ක දරුවෝ පස් දෙනයි.”

ලිලියන් දිසානායක, ඇයට ලැබුණු ජන්ම නාමයයි. මේසන් බාස් කෙනෙකු ලෙස රැකියාව කළ තම පියාටත්, ගෘහණියක ලෙස ගේ ‍ෙදාර කටයුතුත් තම සැමියා සහ දරුවන්ගේ කටයුතු කළ මවටත් දාව ඉපදුණු ලිලියන් පවුලේ හිච්චි කෙල්ල වූවාය. බදුල්ල කොන්වන්ට් පාසලෙන් ඇය මුලික අධ්‍යාපනය ලැබීය.

“අපි හරි ලස්සන පළාතක තමයි ඉපදුණේ. බදුල්ලේ. හරිම සුන්දරයි අපේ ගම. හැබැයි දැන් නම් ඒ සුන්දරත්වය නෑ.

අපි හරි කෙළිලොල් විදියට ජීවත් වුණා. අපේ ගමේ මගේ වයසේ අයත් එක්ක හැමදේකටම උදව් කළා.”

කිසිම භේදයක් නැතුව ඒ ඇගේ තරුණ වයස ගත කළ හැටිය.

මගේ සිත තුළ තෙරපුණු ඇසිය යුතු යැයි නොඉවසිල්ලකින් සිටි ප්‍රශ්නය මම ඇය හට ඉදිරිපත් කළේ මෙලෙසින්.

“අම්මේ එතකොට පේශලගේ තාත්තා මුණ ගැහෙන්නේ කොහොමද?”

එකවරම ප්‍රේමණීය සිනහවක් මුවගට නැගුණු ඇය තමා අසල සිටි සැමියා දෙස බලා නැවත කතාව ඇරඹුවේ මෙලෙසින්.

“මගේ මස්සිනා, ඒ කියන්නේ ලොකු අක්කාගේ මහත්තයා වැඩ කළේ ලලිත කලා කියලා වෙසක් කාර්ඩ් හදන තැනක. දෙන්නම කොළඹ පදිංචි වෙලා හිටියේ. මමත් ඉගෙන ගෙන ඉවරවෙලා අක්කලාගේ ගෙදර එනවා. තාත්තත් කොළඹ කෙනෙක්. ඒ එද්දි තමයි හම්බුණේ. ඊටපස්සේ මගේ මස්සිනා තමයි කතා කරලා අපි දෙන්නව විවාහ කළේ.”
තවමත් ඒ තරුණ වියේදී වූ ආදරය එලෙසින්ම ඒ යටගියාව සිහිපත් කරන විට දෙපළගේම මුහුණෙන් දකින්නට අපිට හැකි විය. W.A. ජයනාත් තම ජීවන සහකරුවා ලෙස ජිවිත ගමනට එක්වෙද්දී ලිලියන් දිසානායක තම සුපුරුදු ගමෙන් කොළඹ දෙමටගොඩ පිටි තම ස්වාමිපුරුෂයාගේ නිවසට කැන්දාගෙන පැමිණියේ තම ආදරණීය සැමියා සමග දිවි ගෙවීමටයි.

ඇය ඉතාමත් සතුටු වූ දිනයක් වූයේ තම කුසට දරුවෙකු පිළිසිඳගත් දිනයේදී බව සෙනෙහස දෝරෙ ගලන දෑසින් සිනාසෙමින් කීවාය. ගැහැනියක වඩාත්ම සතුටු වන අවස්ථාවන්ගෙන් එක් අවස්ථාවක් ලෙස ඇය මවක් වූ දිනය පැවසිය හැක. සෑම ගැහැනියකම ලෙසින් ඇය ද තම කුසට දරුවෙකු පිළිසිඳගත් පසු ඇය ද වඩාත්ම සතුටු වූයේ දරුවාගේ මුහුණ දැකීමේ නොතිත් ආශාවෙනි.

“මම ගොඩාක් ආසාවෙන් හිටියේ දුවෙකුට. හැබැයි තාත්තා කැමැත්තෙන් හිටියේ පුතෙකුට. ඒ නිසා මම දුවෙකුටයි, පුතෙකුටයි එකම පාටින් ඇඳුම් මගේ අතින්ම මැහුවා.” ඒ අම්මලාගේ හැටිය.

“ඇයි අම්මා දුවෙකුට කැමැත්තෙන් හිටියේ?”

මාගේ ඒ ප්‍රශ්නය ඇම්මාගෙන් ඇසුවේ, ඇතැම් මව්වරුන් දුවවරුන්ට වඩා පුතුන්ට ආශා කරන නිසාය. නමුත් දුවෙකු වුව ද පුතෙකු වුව ද තම දරුවා තමන්ට මැණිකක් මෙන් රැකගැනීමට ආදරණීය අම්මලා පෙලඹෙති.

“දුවෙක් පවුලට ලැබුණාම හො¼දයිනෙ පුතේ. ඒ වුණාට ඕනිම දරුවෙක් අම්මලාට මැණිකක්.”

අම්මලාගේ ගතිගුණ එසේමය. තම දරුවා දසමසක් කුස දරන් ඒ කුසයෙහි වැඩෙනා තම දරුවාට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාරගෙන නිරෝගී දරුවෙකු මෙලොවට බිහි කරන්නට සෑම අම්මා කෙනෙකුගේම සිහිනයකි. ලිලියන් දිසානායක අම්මාටත් තම කුසෙහි වැඩෙන දරුවා, එලෙස නිරෝගීව බිහි කරන්න, ආරක්ෂා කරන්න සෑම දෙයක්ම නිසියාකාරව ඉටු කරන්න තම ආදරණීය සැමියා ද කැප වූ බව ඇය ඉතාමත් ආදරයෙන් පවසන්නීය.

කිසිදු ශාරීරික අපහසුතාවකින් තොරව මෙලොව එළිය දුටු ලිලියන් සහ ජයනාත්ගේ කුළුඳුල් දරුවා පිරිමි දරුවෙකි. ඒ වෙන කවුරුවත් නොව පේශල මනෝජ් දරුවා ය.

“මම ආසාවෙන් හිටියේ දුවෙකුට වුණාට පුතා දැක්කම මට කියාගන්න බැරි සතුටක් ඇති වුණා. මම නම් පවා ලෑස්ති කරගෙන හිටියේ දුවෙකුට. දුවෙක් ඉපදුණොත් පේශලා මදුවන්ති හරි පේශලා මනෝරි කියලා හරි තමයි දාන්න හිටියේ. ඒ වෙලාවේ හදිස්සියට ඒ නම් එකතු කරලා “පේශල මනෝජ්” කියලා දැම්මා.”

ඒ යටගියාව හරිම සුන්දරය. අප අම්මා සමග කතා කරන සෑම විටම තම සැමියා ද කතාවට සම්බන්ධ කරගත්තේ ඔහු නිහඬවම සිටින නිසාවෙනි. පවුලේ වැඩිමල්ම දරුවා වූ පේශලට තව බාල සහෝදරයෙක් ද වෙති. කුඩා කල සිට දෙදෙනාම එකමුතුව හැදී වැඩුණු මුත් සමහර වේලාවන් හිදී පේශල සහ මල්ලී අතර අඬදබර ඇති වූ බව මව පවසන්නේ සිනාසෙමිනි.

“රණ්ඩු වෙනවා දෙන්නම. හැබැයි පොඩ්ඩක් තරවටු කළාම පැත්තකට වෙලා ඉන්නවා. ඊටපස්සේ ආයේ එකමුතුයි.”

පේශල මනෝජ් නිවේදකයෙකු ලෙස කරළියට ඒමට පෙර ඔහු බොහෝ දෙනා හඳුන්වන්නේ ගායකයෙකු ලෙස සහ වාදකයෙකු ලෙසිනි. සංගීතයට ආභාසය ලැබී ඇත්තේ ඔහුගේ පියාගෙන් බව මව පවසන්නීය.

“ඉස්සර පේශල පුතා පොඩි කාලේ අඬනකොට ඩෝලෙ ගහනකොට නැළවෙනවා. පේශල හම්බුණාම මම ලොකු අක්කා ගාව හිටියේ. ඒ ඉද්දි මස්සිනයි, මහත්තයයි දෙන්න ඩෝලෙ ගගහ සිංදු එහෙම කියනවා. ඒ වෙලාවට තාත්තා ඩෝලේ ගහන දිහා පුතා හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. සමහර වෙලාවට මම උයද්දිත් රේඩියෝ එකේ සිංදුවක් එහෙම දාලා දුන්නම ඒක අහ අහා ඉන්නවා. කිසිම කරදරයක් නෑ.” ඇය ඒ අතීතය ඉතාමත් සතුටින් පවසද්දී ඇගේ ආදරණීය ස්වාමි පුරුෂයා ද ඇය සමග මතකයන් දිගහැරීමට ඉදිරිපත් විය.

“මම ඉස්සර ගෙදර ඉද්දී ඩෝලේ ගහද්දි ඒ බලාගෙන මේසෙට ගහනවා. මුලින්ම සංගීත භාණ්ඩෙකටත් ගෙනැල්ලා දුන්නේ ඩෝලයක්.”
ඒ පියාගේ මතක සටහනකුයි. පියාගෙන් පමණක් නොව එකල සිටි මහා සංගීතවේදීන්ගේ ආභාසය ලබන්නට පේශලට හැකියාව ලැබෙන්නේ තම පියා නිසා බව අම්මා මතක් කර දුන්නේ ඉතාමත් ගෞරවනීය හැඟීමකින්.

යමක් කමක් තෙරෙන කාලේ පුතා තාත්තත් එක්ක මොහොමඩ් සාලි මහත්තයාගෙ ගෙදර යනවා. එයා හිටියේ අපි ඉන්න තැනට පොඩ්ඩක් උඩහ. ඒ ගියාම සිංදු එහෙම තියනවා. කියද්දි ඉතිං ඩෝලෙ ගහන්නේ පේශලගේ තාත්තා. එක දවසක් ෂෙල්ටන් පෙරේරා මහත්තයාත් ඉන්න දවසක ගියාම පුතා මොහොමඩ් සාලි මහත්තයාගෙ ඩෝලේ ගහලා. තාත්තා ඒකට අකැමැති වෙලා ගහන්න එපා කියලා. ඒ කියලා තියෙන්නේ සාලි මහත්තයට තියෙන ගෞරවේට. ඒක දැකපු ෂෙල්ටන් පෙරේරා මහත්තයා “නවත්තන්න එපා පුතාට ගහන්න කියන්න” කියලා ෂෙල්ටන් මහත්තයා “මහ මුහුදු විමානේ” සිංදුව කියලා. එදා තාත්තත් එක්ක ෂෙල්ටන් මහත්තයා කියලා තිබුණා පුතා මාර දක්ෂයෙක්. ටොප් බඩුවක්නේ කියලා. ඒ වගේ ප්‍රවීණයන්ගේ ආභාසය ලැබුණා. සාලි මහත්තයා හිටියා නම් අද ගොඩක් සතුටු වෙනවා පුතා ඉන්න තැන දැකලා.”

තම පුතාගේ දක්ෂකම්, ප්‍රවීණයන්ගේ ඇසුර පිළිබඳව අප සමග කියද්දී ඇගේ මුහුණේ දුටු සතුටු වචනවලින් කියා නිම කරන්නට අපට බැරිය. තම දරුවා පිළිබඳව සංගීතයෙහි කෙළ පැමිණි ප්‍රවීණයින්ගෙන් නොතිත් පැසසුම් ලබද්දී අහිංසකව සතුටු වන්නිය ඒ අම්මාය. පේශල පිළිබඳව අප කවුරුත් දන්නේ ඉතාමත් කටකාර චරිතයක් ලෙසින්. නමුත් ඔහු කුඩා කල කටකාර නැති බව අප සමග පවසන්නීය.

විනෝදකාමී, මුඛරි වඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙස පේශල ඉතාමත් දක්ෂය. කුඩා කල එසේ නොමැති බව කී අම්මා ඒ පිළිබඳව අප සමඟ පැවසුවේ සිනාමුසු මුහුණින්.

“පොඩි කාලෙ නම් එහෙම නෑ. දැන් තමයි කියවන්නේ. හැබැයි තාත්තා නම් හරි විහිළුකාරයා. පුතත් දැන් ඒ වගේ තමයි. තාත්තලා පුතාලා එක වගේ වේ නම් අම්මලා කැමතිය. ආදරේය. ඒ අම්මලාගේ හැටිය.

කොහේ සිටියත් තම පුතුන් දෙදෙනාගේ කටහඬ ඇසීමටත් සොයා බැලීමටත් මේ අම්මා උත්සුක වන්නීය. රටක් දන්නා මේ පුතු පිළිබඳව මෙන්ම බාල පුතු ගැන ද ඇය කියන්නේ නොඅඩු වූ අප්‍රමාණ ආදරයකිනි.

“මට හරි සතුටුයි මගේ පුතා දැන් ඉන්න තැන ගැන. අම්ම කෙනෙක්ට ලැබෙන එකම සතුට තමයි තමාගේ දරුවෙක් දියුණුවෙනවා දැකලා සතුටු වෙන එක. මට ඒ සතුට තියෙනවා.”

කිසිදු අම්මෙක් තම දරුවෙකු දුක් විඳිනවා දැකීමට කැමැත්තක් නොදක්වන්නීය. පේශල පුතු ගැන කියන අම්මා ජේ‍යාතිෂවේදියෙකු කියූ කරුණක් ද අප සමග පැවසුවාය. “මම එක දවසක් පුතාගේ වෙලාව අරන් ගියා පෙන්නන්න. ඒ ගිහිං පෙන්නද්දි කිව්වා පුතාට අවුරුදු 7ක් යනකන් සිකුරා ලබලා කියලා. මට ‘අහ්’ කියැවුණා. ඊටපස්සේ ඒ මහත්තයා කිව්වා පුතා කවදහරි ලංකාවේ දක්ෂයෙක් වෙනවා කියලා. මට හිතෙනවා ඒ දේ හරි ගිහිං කියලා.”

පුතෙකු කෙතරම් දියුණු වුව ද ප්‍රසිද්ධ වුව ද මව්වරුන්ගේ එකම ප්‍රාර්ථකය නිරෝගි බව සහ හැදියාව ඇති රටට බර නැති පුතෙකු බිහි කිරීමය. මේ ආදරණීය අම්මාගේ ඒ සිහින පල ගැන්වී ඇති බව අප සමග කළ කතාබහේදී අපට තේරුම් ගියේය. මේ කතාබහේදී ඇයගේ නෙතෙහි තුටු කඳුළු දුටු එක් තැනකින් කතාබහ අවසන් කරන්නට සිතුණි.

“මගේ පුතා කොහේ කොතන ගියත් මේ මගේ අම්මා කියලා හරිම ආසාවෙන් කරට අත දාලා කියද්දි දැනෙන සතුට හරි විශාලයි පුතේ.’

අම්මාවරුන් තම පුතුන්ගේ හැදියාව දුටු විට ද සතුටු වන්නේ ඉතාමත් ආදරණීය ලෙසිනි. එය ඔවුන් ලබන ප්‍රතිලාභයයි. තවමත් ඒ අම්මා තම පුතුන් ගෙදරට පැමිණෙන තුරු ‍ෙදාරකඩ සිට බලා සිටියි. දරුවන් කොතරම් උස්මහත් වුවත් අඩු නොවෙන නිම නොවෙන ආදරයෙහි හිමිකාරිය අම්මායි. සුළු මොහොතකට ඇය සමගින් අතීතයට ගිය අපි වර්තමානයට පැමිණ කතාබහ අවසන් කළේ කාලවේලාව ඉක්මවා ගොස් තිබූ බැවිනි. ඒ පේශල මනෝජ් නමැති සුන්දර මිනිසාගේ ආදරණීය මව්තුමිය සමග කළ කතාබහයි. අම්මාවරුන්ගේ ආදරය නිම නොවෙයි. ආත්මයෙන් පවා තම දරුවන්ගේ යහපත් සලසන, ගැහැනියකට ලැබිය හැකි උතුම්ම පදවියක් වේ නම් ඒ මාතෘත්වයයි. ඉතිං මේ තවත් ඒක පෙකෙණිවැලක හිමිකාරිනියකගේ කතාවයි.

සංවාද සටහන – හෂාන් අනුරාධ
ඡායාරූප _ ප්‍රමෝත් විජේවන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: