FB තහනම් කළ යුතු ද?

සන්නිවේදනය පිළිබඳ අපට තිබූ සීමා සියල්ල බිඳ දමන්නට විසි එක්වන සියවසේදී සමාජ මාධ්‍යන්ට හැකි විය.

අනෙක් බොහෝ සන්නිවේදන මාධ්‍යයන්හි අන්තර්ගතයට කවරාකර වාරණයන් පැන වූව ද නව මාධ්‍ය නැතහොත් අප ඉහතින් කතා කළ සමාජ මාධ්‍ය අන්තර්ගතයට වාරණ පැනවිය නො හැකි විය. එය අසීමාන්තික නිදහසක් භුක්ති විඳින නිසාම 21 වන සියවසේ සමාජ විපර්යාසයන් රැසකටම එය හේතුකාරක වූ බව මෙන්ම තවමත් ඒ නිසාම සමාජමය ගැටළු බොහෝමයක් ඇති වෙමින් පවතින බව සන්නිවේදන විශ්ලේෂකයන්ගේ මතය වී ඇත.

ඒ නිසාම සමාජ මාධ්‍යයන් බොහෝමයක් තහනම් කිරීම කෙරෙහි ලොව බොහෝ රටවල් මේ වන විට තම අවධානය යොමු කර ඇති බව ද නො රහසකි. ඒ අතර චීනය පෙරමුණ ගන්නා රටක් වශයෙන් හැඳින්විය හැකි ය. චීනයේ පාසල් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයන් තහනම් කලාප බවට පත් කොට ඇත. විශේෂයෙන් බටහිර රටවල බලපෑම මත නිර්මාණය වූ අරාබි වසන්තය මෙන්ම තවමත් ලෝකයට විශාල ගැටළුවක්ව ඇති සරණාගත අර්බුදයන් මෙන්ම සයිබරය හරහා සිදුවන අපරාධ රැසකට ද සමාජ මාධ්‍ය හේතු වූ බව සන්නිවේදක විශ්ලේෂකයන්ගේ මෙන්ම ලොව ප්‍රධාන පෙලේ දේශපාලන විශ්ලේෂකයන්ගේ ද මතය වී ඇත. ඒ නිසාම රටවල් කිහිපයක්ම Facebook ඇතුළු සමාජ මාධ්‍ය බොහෝමයක් තහනම් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ලෝකයේ සමාජ මාධ්‍ය හරහා සිදුවන බලපෑම මෙලෙස තිබියදී ශ්‍රී ලංකාව වැනි රටවලට ද ඉන් ගැලවීමක් නැත.

සමාජ මාධ්‍යන් අතරින් අප රටේ බොහෝදෙනා භාවිත කරන්නේ ද අප රටේ බොහෝදෙනාට සමීප වී ඇත්තේ ද Facebook සමාජ ජාල වෙබ් අඩවිය ය. එය මුළු ජනගහනයෙන් 3.5 ප්‍රමාණයකි. බොහෝදෙනෙකු භාවිත කරන නිසාම ෆේස්බුක් අප රටේ ද හොඳට නරකට දෙකටම හේතුවක් බව නො රහසකි. එය මහජන අවකාෂයට වේදිකාවක් සපයන්නා සේම, සමාජමය වශයෙන් ගැටළු රැසක් ද ඇති වන්නට හේතුකාරකයක් වී ඇති බවට දේශපාලන මෙන්ම සන්නිවේදන විශ්ලේෂකයන් ද අදහස් දක්වා ඇත.

එසේ වූව ද දේශපාලනමය වශයෙන් සංවාද ගොඩනඟන්නට මෙන්ම කලාව දර්ශනය ඉතිහාසය වැනි කාරණා ගැන නව අදහස් බිහි කරන්නටත් එය හේතු වී ඇත. තම අදහසක් හෝ කවි සංකල්පනාවක් පුවත්පතක හෝ වෙනත් මාධ්‍යයක පළ කරගැනීමට නො හැකි සැමට Facebook පොදු වූ වේදිකාවක් බවට පත් වී ඇත. මේ සියල්ල තිබියදී රටේ රාජ්‍යය නායකයාගේ සිට දේශපාලනයට සම්බන්ධ සියලුදෙනා සිනහවට ලක්කරන්නේ ද මෙමඟින් ය.

එහෙත් ජනවාරි 08 දේශපාලන විපර්යාසයට ද ෆේස්බුක් හරහා එක් වූ තරුණ කොටස් හේතු වූ බව ද නො රහසකි. මේ සියල්ල අතරෙහි තරුණයෙකු කුඩු සාදයක් පවත්වන්නට මිතුරන් එක් කරගන්නට මෙන්ම, ගණිකා ජාවරම්කරුවන් ගණිකාවන් ජාවරම් කිරීම සඳහා ද පහුගිය කළ Facebook භාවිත කළ බව මාධ්‍ය හරහා අනාවරණය විය. මේ සියල්ලෙන්ම පෙනෙන්නේ හොඳට නරකට දෙකට Facebook හේතුකාරණා වන බව ය.

එහෙත් 2015 වසරේ බලයට පත් වූ යහපාලන රජයට නම් සමාජ මාධ්‍ය හරහා හොඳ කෙසේ වෙතත් නරකම සිදු නො වන බව පෙනී ගොස් ඇත. ඒ නිසාම මුලින්ම අසභ්‍යය යැයි කියූ වෙබ් අඩවි 300 ක් වාරණය කළේ ය. එහෙත් වාරණය කළ වෙබ් අඩවි 300යෙහි අඩුව පුරවන්න අලුත් වෙබ් අඩවි එවැනිම සංඛ්‍යාවක් බිහි වී ඇත. ඒ කෙසේ වෙතත් රජය මේ මොහොතේ අවධානය යොමුකොට ඇත්තේ Facebook වෙත ය. ඒ එහි පළවන තොරතුරු සහ අන්තර්ගතය වාරණය කළ නො හැකි නිසා ය. රජය මේ මොහොතේ අවධානය යොමු කර ඇති මේ කරුණ සම්බන්ධයෙන් සමාජය දරන්නේ කුමන අදහසක් දැයි විමසා බැලීම වඩාත් වැදගත් වන්නේ මේ සියලු කරුණු සිදු වන්නේ ද සිදු වෙමින් පවතින්නේ ද සමාජය තුළ වන නිසා ය. ඒ නිසාම ඇපල් අපි පාර්ශව කිහිපයකින් මේ සම්බන්ධව අදහස් විමසීමක් කළෙමු.

චමෝදි කලුආරච්චි

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 3 =