UNPකාරයෝ බණින අද සවස 6ට ඉරණම විසඳෙන කවුද මේ විජේදාස ?

August 21, 2017 | 3:33 pm    0   830

UNPකාරයෝ බණින අද සවස 6ට ඉරණම විසඳෙන කවුද මේ විජේදාස ?

ගිරිවාපත්තුවේ බලය ඉතිහාසයේ දිගටම හෙලෙව්වේ රාජපක්ෂලාය. ජෝජ් රාජපක්ෂ, ඩී.ඒ. රාජපක්ෂලාගෙන් පෝෂණය වූ ගිරිවාපත්තුවේ රාජපක්ෂලාගේ පරපුරෙන් ඉහළටම පැමිණියේ මහින්ද රාජපක්ෂය. ඒ රටේ ජනාධිපතිවරයා බවට පත්වීමෙනි. රාජපක්ෂ පරපුරේ ඊළඟ පුරුක ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නාමල් රාජපක්ෂය.

එහෙත් මේ කියන්න යන්නේ ඒ රාජපක්ෂලා ගැන නොව ගිරිවාපත්තුවේ සිටම පැමිණි මේ දිනවල දේශපාලනයේ වැඩිපුරම කතා කරන විජේදාස රාජපක්ෂ ගැනය. මහින්ද රාජපක්ෂලා රිදී හැන්දෙන් ඉඳුල් කවනා දේශපාලන පවුලක පෝෂණය වුව ද විජේදාස රාජපක්ෂලා දේශපාලනයට පැමිණියේ කටුක මගක් ගෙවාගෙනය. ඒ දුෂ්කර ලෙස අධ්‍යාපනය ලබා ඉහළ සාමාර්ථ ලබාගෙන නීති විද්‍යාලයට ඇතුළුවී නීතීඥවරයෙකු වීමෙනි.

නීතිඥයෙකු ලෙස විජේදාස රාජපක්ෂ ඉතා සාර්ථක විය. විජේදාස රාජපක්ෂ කතා කරනා නඩු ජයගන්නා බවට පසුකාලීනව මතයක් ඇති විය. මේ ආකාරයෙන් ජනප්‍රිය වූ විජේදාස රාජපක්ෂ දේශපාලනයට සම්බන්ධ වංචා දූෂණ සම්බන්ධ නඩුවලට දූෂණ සම්බන්ධ නඩුවල කතා කරන නීතිඥවරුන් අතරින් ප්‍රමුඛයා බවට පත්විය.

චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදු පෙරමුණු ආණ්ඩුව මඟින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 860ක් වැනි සුළු මුදලකට රවී වෙත්තසිංහ නම් ව්‍යාපාරිකයාට විකිණීමට එරෙහිව විජේදාස රාජපක්ෂ විසින් නඩු පවරනු ලැබීය. නීතිඥවරුන් විශාල ප්‍රමාණයක් හමුවේ තනිවම හැපුණු විජේදාසට ලංගම නැවත රජයට පවරාගෙන ජනතා සේවයක් ලෙස පවත්වා ගෙන යාමට හැකිවිය. එසේම බිලියන 125ක් වටිනා රක්ෂණ සංස්ථාව බිලියන හයක් වැනි සුළු මුදලකට එක්සත් ජාතික පක්ෂ රජය විසින් විකුණ­ අවස්ථාවේ එය නැවත රජයට පවරා ගැනීම වෙනුවෙන් පැවරූ නඩුවේදී විජේදාස රාජපක්ෂගෙන් ඉටුවූයේ විශාල සේවාවකි.

මේ ගනුදෙනුව නීති විරෝධී බව තහවුරු වීමෙන් පසුව රක්ෂණ සංස්ථාව නැවත රජයට පවරා ගැනීමේදී බෝනස් වාසියක් ලැබිණි. ඒ රක්ෂණ සංස්ථාව මඟින් මිලදී ගෙන තිබූ ඇපලෝ රෝහල රජය සතු දේපළක් බවට පත්වීමය. එසේම ලංකා මැරයන් සර්විස් ආයතනය විකිණීම ද සිදුවූ පාඩුව ද විජේදාසගේ මැදිහත් වීමෙන් වළකා ගත හැකි විය. රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය වැනි ජනතා විරෝධී වැඩවලට එරෙහිව එකළ පෙනී සිටි ප්‍රගතිශීලීම නීතිඥයන් අතරින් අයෙක් වූයේ විජේදාස රාජපක්ෂය.

පසුව චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව මඟින් විජේදාස රාජපක්ෂට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදුන්නේ ඔහු එවකට සමාජයේ සිවිල් චරිතයක් බවට පත්වී තිබීම හේතුවෙනි. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු බවට පත්වූ මොහුට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති ධුරය ද ලැබිණ. මෙවැනි ආයතනක් පාර්ලිමේන්තුව තුළ ඇති බව බොහෝ දෙනෙකු දැනගනු ලැබුවේ විජේදාස රාජපක්ෂ කෝප් කමිටුවේ සභාපතිවරයා බවට පත්වීමෙන් අනතුරුවය.

මොහු කෝප් කමිටු සභාපතිවරයා වශයෙන් සිටි කාලය තුළදී රාජ්‍ය ආයතනවල හා දේශපාලනඥයන් සිදු කළ වංචා දූෂණ ගණනාවක්ම හෙළි කර ගැනීමට හැකියාව ලැබිණි. රාජපක්ෂ පාලන කාලයේදී විජේදාස රාජපක්ෂට පැවරුණේ රාජ්‍ය බැංකු පද්ධතියට අයත්ව තිබූ ඇමතිකමකි. ඇමතිවරයෙකු ලෙස විජේදාස රාජපක්ෂ එහිදී ද ඉටු කළේ ප්‍රශස්ත කාර්යයකි. ඇමති ධුරයක් ලබා දුන්න ද තමන්ගේ ආණ්ඩුව තුළ තම පවුලට බාහිරව තවත් රාජපක්ෂ කෙනෙකු සිටිනවාට මහින්ද රාජපක්ෂ කැමති වූයේ නැත. එහිදී මහින්ද මතු කළේ කුල මළ ප්‍රශ්නයකි.

කෙසේ වුව ද මේ ප්‍රශ්නය මත විජේදාසට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවිය. ප්‍රබල ආණ්ඩුවක තනතුරක් දරමින් සිටි විජේදාස රාජපක්ෂ එවකට දේශපාලන වශයෙන් දුර්වල වී සිටි එක්සත් ජාතික පක්ෂයට එකතු වීම කාගේත් විමතියට හේතුවක් විය.
එක්සත් ජාතික පක්ෂයට එකතු වීමෙන් අනතුරුව ද නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් විජේදාසගේ අනිත් විශාල කාර්යභාරයක් කෙරිණි. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව විජේදාස ඇතුළු නීතීඥයන් ගෙනගිය අරගලය ඉතා විශාල විය. ආණ්ඩුවේ මෙහෙවීම මත විජේදාසගේ නිවසට වෙඩි තැබුවේ ඔවුන් ගෙනගිය අරගලයට විරෝධයක් වශයෙනි.
අධිකරණයේ පෙරළි කළ විජේදාස රාජපක්ෂට යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ලැබුණේ අධිකරණ ඇමතිකමය. අධිකරණ ඇමතිකම ලැබීමෙන් පසුව එහෙත් ජනාධිපතිවරයා යටතේ තිබූ නීතිපති දෙපාර්තමේන්තුව ද අධිකරණ අමාත්‍යාංශයට පැවරිණි.

බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූයේ මේ ප්‍රගතිශීලී දේශපාලඥයා අධිකරණ ඇමති ධුරයට පත්වීමෙන් අනතුරුව අධිකරණ ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති විය හැකි බවය. ඊට තවත් හේතුවක් වූයේ විමර්ශන කටයුතුවලට සහය වීම සඳහා අලුතෙන් ආයතන ද ඇති කිරීමය. ස්වාධීන කොමිෂන් සභා පිහිටවීම වැනි කරුණුය. විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා පත් කෙරුණු ජනාධිපති විමර්ශන ඒකකය පොලිස් මූල්‍ය අපරාධ අංශය. දූෂණ මර්දන ලේකම් කාර්යාලය වැනි ආයතන බිහි වුව ද මේ වනතෙක් රාජපක්ෂ ආණ්ඩුව සමයේ චෝදනා එල්ල වූ කිසිවෙකුට දඬුවම් ලබා දී නැත.

රාජපක්ෂ ආණ්ඩුවේ හොරුන්ට දඬුවම් දීම කෙසේ වුව ද වත්මන් ආණ්ඩුවල බලයට පත්වීමෙන් අනතුරුව දූෂණ වංචා සම්බන්ධයෙන් මුලින්ම චෝදනා එල්ලවූයේ විජේදාස රාජපක්ෂ හා තිලක් මාරපන ඇමතිවරුන් දෙදෙනාටය. මේ දෙදෙනාට එල්ල වූ චෝදනා වූයේ ඇවන්ගාඩ් වංචාවට අදාළ සැකකරුවන් තම බලය යොදාගෙන ආරක්ෂා කරනවාය යන චෝදනාවය. මේ චෝදනාවට හේතුවෙන තිලක් මාරපන ඉල්ලා අස් වුව ද විජේදාස රාජපක්ෂ ඉල්ලා අස් වූයේ නැත. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂට තම පක්ෂයෙම ඇතැමුන්ගෙන් විවේචන එල්ලවන්නට විය. මොහුට විවේචන එල්ල කළ අය අතර සරත් ෆොන්සේකා, රන්ජන් රාමනායක, පාඨලි චම්පික රාණවක වැනි අය ද විය.

ගරු කටයුතු දේශපාලන චරිතයක් හැටියට නම් දරා සිටි විජේදාස මේ ප්‍රශ්නයේදී මර්වින් සිල්වලා වැනි දේශපාලඥයින්ගේ ගණයට වැටෙන්නට විය. ගරු කටයුතු දේශපාලන වෙනුවට විජේදාස පල්ලම් බසින්නට වූයේ ප්‍රවාදින්ට බැණ අඬගසමිනි. මෙහිදි විජේදාස, සරත් ෆොන්සේකාට ‘වෙල් විදානේ’ වැනි අනුවර්ත නම් කියමින් බැණවදින්නට විය. අනතුරුව අයි.එස්. සංවිධානයේ පිරිස් ලංකාවේ ඉන්න බවත්, නැගෙනහිර පාසල්වල අන්තවාදි කණ්ඩායම් ක්‍රියාත්මක වන බවත් විජේදාස ප්‍රකාශයක් කළේය. මේ ප්‍රකාශයට ආණ්ඩුව පැත්තෙන්ම බලවත් චෝදනා එල්ල විය. තවත් අවස්ථාවකදී ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව චෝදනා ගොනු වෙද්දි විජේදාස කියා සිටියේ ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බවය. පසුව අන්තවාදී ලෙස ක්‍රියාකර උසාවියට අපහාස කළ ගලංගොඩඅත්තේ ඥාණසාර හිමියන් බේරාගැනීමට ද විජේදාස මැදිහත් වූ බවට චෝදනා එල්ල විය. පසුකාලීනව විජේදාස බොහෝ විට පෙනී සිටියේ ආණ්ඩුවේ මතයට වඩා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මතය වෙනුවෙනි.

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රිවරුන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම් වන්නේ එවැනි තත්ත්වයක් තුළය. මේ විශ්වාසභංගය ගෙන ඒමට ප්‍රධානම හේතුව ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් ප්‍රකාශ කරන්නේ මේ වනවිටත් වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් කර ඇති සිදුවීම් සම්බන්ධ අධිකරණ කටයුතු විජේදාසගේ බලපෑම මත පමා වන බවය.

විජේදාසට එරෙහිව හඬනැගීම මෙතරම් ඉක්මන් වූයේ පසුගියදා පැවති කැබිනට් රැස්වීමේදී හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව විජේදාස කතා කිරීමටය. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් විජේදාස කියන කතා බොහෝ දුරට සත්‍ය වුව ද, ඒ විජේදාස ඉස්තාලය වසා දැමීමට සැරසෙන්නේ අශ්වයා පැන ගිය පසුවය. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් මීට පෙර බොහෝ දෙනෙකු කතා කළ ද විජේදාස සිටියේ නිහඬවය. විජේදාස මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවංකව මැදිහත්වෙනවා නම් මැදිහත්වීමට තිබුණේ මීට පෙරය.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු විදිහට පිරිසිදු දේශපාලනයක් කළ විජේදාස පක්ෂයටත් එපාවීමට තරම් පිරිහෙන්නට වූයේ කෙසේද යන්න බරපතල ප්‍රශ්නයකි. විජේදාසගේ මේ පිරිහීමට ප්‍රධානම හේතුව ලෙස සැලකෙන්නේ වර්තමානයේ පවතින ඡන්ද ක්‍රමයේ වැරැද්දය. එනම් මෙවර විජේදාස තේරී පත් වූයේ ජාතික ලැයිස්තුව වෙනුවට මහජන ඡන්දයෙනි. මැතිවරණයේදී මනාප පොරය බරපතලම ලෙස තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයේය. මේ මනාප පොරයේදී රෝසි සේනානායක, උපුල් ශාන්ත සන්නස්ගල යන දැවැන්ත චරිත පරාජයට පත් වෙද්දි විජේදාසට ජය ගැනීමට හැකියාව ලැබිණි.

මේ මැතිවරණයේදී ප්‍රචාරක කටයුතුවලදී කෝටි ගණනක මුදල් වැය කිරීමට අනෙක් අයට මෙන්ම විජේදාසට ද සිදුවිය. මනාප පොරයේදී බොහෝ තැන්වල ඉදිරියෙන්ම සිටිනුයේ අයතා ක්‍රම මඟින් මුදල් උපයාගත් අපේක්ෂකයින්ය. එසේ නොමැතිනම් අයතා ක්‍රම මඟින් මුදල් උපයා ගත් කූට ව්‍යාපාරිකයන්ගෙන් යැපෙන දේශපාලනඥයින්ය. මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේය යන්න පැරණි කියමනක්ය. මේ ආකාරයෙන් දේශපාලනඥයන්ට ව්‍යාපාරිකයින් උදව් කරන්නේ අත ලෙවකන්නට නම් නොවන බව කවුරුත් දන්නා කාරණයකි. විජේදාස ඇවන්ගාඩ් හිමිකරුගෙන් යැපුණු හා ඔහු වෙනුවෙන් පෙනී සිටි බව සත්‍ය නම් අනිත් අයට පොදු දේශපාලන මඩ ගොහොරුවේ විජේදාස ද ගිලී ගොස් ඇත.

විජේදාස රාජපක්ෂ නියෝජනය කරනු ලබන්නේ මහරගම ආසනය වේ. මහරගම යනු සිංහල බෞද්ධ ඡන්දවලට වැඩි නැඹුරුවක් ඇති ප්‍රදේශයකි. හෙළ උරුමය අතගැසුවේ ද, පසුව මහින්ද රාජපක්ෂ ආමන්ත්‍රණය කළේ මේ ඡන්ද පදනමට වීම විශේෂයකි. මොවුන් බොහෝ විට ආමන්ත්‍රණය කළේ බුද්ධිමත් සිංහල බෞද්ධ ජනතාවට වඩා, ඇදහිලිවලට පමණක් සීමා වී ඇති හැඟීම් මත කටයුතු කරන සිංහල බෞද්ධයින්ටය. අද විජේදාස ආමන්ත්‍රණය කිරීමට යන්නේ ද ඒ ඡන්ද ගොඩටය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති හා ක්‍රියා අනුව මේ ඡන්ද ගොඩට ආමන්ත්‍රණය කිරීමට හැකියාවක් නැත. මේ මහරගම හෝමාගම ඡන්ද ගොඩ තරකර ගැනීමට ව්‍යාජ වීරයෙකු වීම අනිවාර්ය කරුණකි.

අද විජේදාස රඟපාමින් සිටින්නේ ඒ චරිතයය. මෙතනදි ප්‍රධානම වැරැද්ද ඇත්තේ විජේදාසගේ නොව පවතින සමානුපාතික ඡන්ද ක්‍රමයේය. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරවෙකු ලෙස විජේදාස ගෙන ගිය පිරිසිදු දේශපාලනය මැතිවරණයට ඉදිරිපත් වීමත් සමඟ අමතක කරන්නට සිදුවී ඇත්තේ ඒ හේතුවෙනි.

ජනක විජේගුණතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: