UNP හිතවතකු බණ්ඩාරවෙල පොලීසියෙන් කියා සුදු වෑන් එකකින් පැහැරගෙන

April 11, 2017 | 12:00 pm    0   497

UNP හිතවතකු බණ්ඩාරවෙල පොලීසියෙන් කියා සුදු වෑන් එකකින් පැහැරගෙන

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලඥයින් කිහිප දෙනෙකුගේම පෞද්ගලික ආරක්ෂක හා ලීසින් සමාගම්වල වාහන අත්පත් කර ගැනීමේ නිලධාරියෙකු (සීසර්වරයකු) වශයෙන් කටයුතු කළ ඉපලෝගම පුංචිකුළම පදිංචි පුද්ගලයකු ඉකුත් 08 දා රාත්‍රීයේ පොලීස් වෙස්ගෙන පැමිණි නාදුනන පිරිසක් විසින් සුදුවෑන් රථයකින් පැහැරගෙන යනු ලැබූ බව පවසමින් ඔහුගේ බිරිඳ ඉපලෝගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙසේ පැහැරගැනීමට ලක්ව ඇත්තේ ඉපලෝගම පුංචිකුළම ප්‍රදේශයේ පදිංචි ලොකුරාළලාගේ අජන්ත පුෂ්පකුමාර බියගම (38) දෙදරු පියා වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේම පෞද්ගලික ආරක්ෂක රැකවලකු රථ වාහන සීසර්වරයකු හා ව්‍යාපාරිකයකු ලෙස පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා කටයුතු කර තිබේ.

ඉපලෝගම මංසන්ධිය අසල පිහිටි නිවසේදී මෙම පුද්ගලයා පැහැරගෙන ගොස් ඇති අතර පැහැර ගැනීමෙන් අනතුරුව නිවසේ සවි කර තිබූ ආරක්ෂිත (සී.සී.ටී.වී) කැමරා 13 ක දත්ත ගබඩාව ඔවුන් පිරිස ගලවාගෙන ගොස් තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ප්‍රබල ආධාරකරුවකු මෙන්ම ආරක්ෂකයකු ලෙස මෙම පුද්ගලයා කටයුතු කර ඇත.

පැහැරගැනීමට ලක් වූ පුද්ගලයාට එරෙහිව දිවයිනේ පොලිස් ස්ථාන කිහිපයකම පැමිණිලි පවතින බව පොලීසිය පැවසු අතර පොලිස් වෙස් ගත් පිරිස ඔවුන්ට අවශ්‍ය සැකකරුවකුගේ නිවසක් පෙන්වීමට බව පවසා සුදු පැහැති වෑන් රථයක නංවාගෙන සිය සැමියා පැහැරගෙන ගිය බවට පැහැරගැනීමට ලක් වූ පුද්ගලයාගේ බිරිද ඉපලෝගම පොලීසියට පැමිණිලි කර ඇත.

පෙරේදා (09) උදෑසන 07.00 ට පමණ සුදු වෑන් රථයකින් ටී පනස් හය වර්ගයේ ගිනි අවි හා පිස්තෝල රැගෙන පැමිණි පිරිසක් ඔවුන් බණ්ඩාරවෙල පොලිස් ස්ථාන නිලධාරීන් බව පවසා නිවස තුළට පැමිණ සැමියා සමගින් පැය භාගයක් පමණ කථා කරමින් සිටියා. අනතුරුව එම පිරිස බීමට ජලය ඉල්ලු අස්ථාවේ මා කුස්සියට ගොස් බීමට ජලය වීදුරුවක් රැගෙන පැමිණෙද්දී පොලිස් නිලධාරීන් යැයි කී පිරිස සැකකරුවෙකුගේ නිවසක් පෙන්වීමට බව පවසා සැමියා සුදු වෑන් රථයේ නංවාගෙන ගිය බව බිරිද පැමිණිල්ලේ සඳහන් කර තිබුණි. අනතුරුව කැබ් රථයකින් පැමිණි පිරිසක් නිවසේ සී.සී.ටී.වී පද්ධතියේ තොරතුරු ගබඩා වන ස්ථානය පෙන්වන ලෙස පවසා එම තොරතුරු ගබඩා වන කොටසද ගලවාගෙන නිවසේ තිබූ සියලු ජංගම දුරකථන රැගෙන ගිය බවත් ඉන්පසු සැමියා පිළිබඳ කිසිදු තොරතුරක් තම සැමියා සම්බන්ධයෙන් නැති බවද ඇය පොලිසියට පවසා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඉපලෝගම පොලීසිය කියා සිටින්නේ බණ්ඩාරවෙල පොලිස් ස්ථානයෙන් මෙම පුද්ගලයා රැගෙන ගොස් නැති බව මේ වන විටත් තහවුරු කර ගෙන ඇති බවයි. මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදු කරන බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: