විසිතුරු

නිවුන් දරුවන් පස් දෙනෙක් වදා…. කිරි නොදුන් එකම අම්මා

නිවුන් දරුවන් පස් දෙනෙක් වදා.... කිරි නොදුන් එකම අම්මා
2.52Kviews

ඒක හරියට පුංචි කිඳුරු කොදෙව්වක් වගේ. එකම වගේ හරිම හුරතල් පුංචිම පුංචි කිඳුරු කිඳුරියො පස්දෙනෙක්ගෙන් හැඩවුණු, ඒ කිඳුරු කිඳුරියො පස්දෙනාගෙ සුරතල්වලින්, සිනා හඩින්, දඟකාරකම්වලින් ඕනෑවටත් වඩා සුන්දර වුණු ඒ කිඳුරු කොදෙව්ව මීට අවුරදු 6කට කලින් සින්නක්කර අයිතියට ලියාගන්න සුන්දර තරුණ යුවළකට පුළුවන් වුණා. බලාපොරොත්තු නොවුණු වෙලාවක, බලාපොරොත්තු නොවුණු වාසනාවන්, වටිනා ත්‍යාගයන් දෙවියන් වහන්සේ සුන්දර මිනිස්සුන්ට ගෙනත් දෙනවලු… ඒ විශ්වාසයෙන් හැමදාමත් ජීවිතේ සුබවාදීව දැකපු ඩෙන්වර් ද ලිවේරා සහ මෙලිසා ද ලිවේරා යුවළටත් මේ ලෝකෙ ඉතාම කලාතුරකින් අම්මෙකුටයි, තාත්තෙකුටයි ලැබෙන වටිනා තෑග්ගක් හම්බවුණා… අද ඒ තෑග්ග මේ දෙන්නගෙ කිඳුරු දූපත සුරලෝකයක් කරලා කියල ඒ ගෙදරට ගොඩවුණු අපිට නම් ඇස් දෙකෙන්ම දැකගන්න පුළුවන් වුණා.

දරු පැටව් පස්දෙනෙක්… මේක අපේ ඉස්සර අම්ම කෙනෙකුටයි, තාත්ත කෙනෙකුටයි නම් මහ ලොකු අරුමයක් නොවෙන්න පුළුවන්. ඒත් විනාඩි දෙකෙන් දෙකට කුළුඳුලේම නිවුන් දරු පැටව් පස්දෙනෙක් ලැබෙනව කියන්නෙ මොනතරම් විස්මයක්ද? ඒක දෙමාපියො දෙන්නෙක්ට මොන තරම් නම් ලොකු භාග්‍යයක් ද කියල අපි අමුතුවෙන් කියන්න ඕන නෑ. ඉතින් මීට අවුරුදු 6කට කලින් තමන් අත්විදපු ඒ සොඳුරු අත්දැකීම අද ඒ ආදරණීය අම්මා මතක් කරන්නෙ ඇස් දෙකේ සතුටු කඳුළු පුරවගෙන, පුදුමාකාර ආඩම්බරයකින්.

 

ඒක කොහෙත්ම සාමාන්‍ය දරු උපතක් වුණේ නෑ…
අම්මා කතාව පටන් ගත්නෙ අන්න එහෙම කියාගෙන. 2012 අවුරුද්දෙ ඔක්තෝබර් 31 වැනිදා විනාඩි දෙකෙන් දෙකට බබාල පස්දෙනාම එළියට ගන්න වෛද්‍යවරු කටයුතු කළා. හැබැයි සාමාන්‍ය ප්‍රසූතියක් වගේ නෙවෙයි. ගොඩක් අවදානම් දරු උපතක් ඒක. සෙන්ට්‍රල් රෝහලේදි සති 31කින් දරුවො හදිසියේම ගත්තෙ මට වගේම දරුවන්ගෙ ජීවිතේටත් ලොකු අවදානමක් තිබුණු නිසයි.

වෛද්‍යවරු දෙවිවරු වගේ මගෙත් දරුවන්ගෙත් පිහිටට හිටියා…
මගෙ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා වුණේ ‍ෙදාස්තර ඩෙස්මන් වර්ණකුලසූරිය සහ ඔහුගේ බිරිඳ. දරුවො 5ක් කියල දැනගත්තට පස්සෙ වී.ඕ.ජී.ගෙ නියමයෙන් මම ‍ෙදාස්තර නලීන්ද්‍ර රුද්‍රිගෝටත් පෙන්නුවා. ඊළඟට දරුවො ස්කෑන් කරන්න මට සහාය වුණේ දොස්තර උෟෂා සමරසිංහ. එතැන ඉඳන් දිගටම දරුවො බලාගත්තෙ, වෙනම හෙදියො පවා යොදවලා. දරුවො ඉපදුණු දවසෙ ඉඳල මගෙ අතට ලැබෙනකල් සියලුම දේවල් කළේ ‍ෙදාස්තර ශකිලා නානායක්කාර. ඒ වෛද්‍යවරුන්ගෙ වගේම සෙන්ට්‍රල් එකෙත්, කාසල් එකෙත් කාර්ය මණ්ඩලයෙන් ලැබුණු සහාය නම් වචනයෙන් විස්තර කරන්න බැහැ. දරුවො ලැබෙන්න කලින් කිව්වෙ හැමෝම කිලෝ එකකට වැඩියි කියල. හැබැයි උපදිනකොට සමහරු බර ග්‍රෑම් 500යි. එකම එක්කෙනයි කිලෝ 1යි, ග්‍රෑම් 500ක් බර තිබුණෙ. කවුරුත් විශ්වාස කරන එකක් නැහැ, හරියට වැඩිල නොතිබුණු මගෙ දරු පැටව් අල්ලක ප්‍රමාණයෙනුයි මුලින්ම මම දැක්කෙ. හැබැයි බර අඩු නිසා වගේම වැඩිල නැති නිසා වෛද්‍යවරු බලාපොරොත්තු තියාගෙන හිටපු දරුවො දෙන්නව සෙන්ට්‍රල් එකෙන් ඉතාම ඉක්මනින් කාසල් එකට මාරු කළා. අනෙක් තුන්දෙනාවත් ඉන්කිව්බීටර්වල දාල තමයි තිබුණෙ. දවස් 5කින් ඒ අයවත් කාසල් රෝහලටම ගෙනාවා. ‍දොස්තර ශකිලා නානායක්කාර එක දරුවෙක්ට 60,000ක් වැයවෙන බෙහෙත් එක කාසල් එකෙන් අරන් දෙන්න පවා කාරුණික වුණා.
ස්කෑන් එකෙන් පස්සෙ හැම අම්ම කෙනෙක්ම ලබන සතුට පස්ගුණයක් වෙලා ලැබුණත් මේ අම්ම, තාත්තට ඒ සතුට යට බයක් වගේම දුකකුත් කැටිවෙලා තිබුණා.

 

පළවෙනි ස්කෑන් එකෙන්ම අපි දැනගත්තා ලැබෙන්නෙ නිවුන්නු කියලා…
පළවෙනි ස්කෑන් එකෙන් නිවුන්නු කියල දැනගත්තම ගොඩක් සතුටු හිතුණා. ඊළඟට මාස 4කින් ස්කෑන් කළාම දැනගත්තා දරුවො 5ක් ඉන්නවා කියලා. එදා නම් මම ගොඩක් ඇඬුවා. මමත් දරුවන්ගෙ තාත්තත් එදා එකපාරටම හිතුවෙ කොහොමද මේ අයව හදාගන්නෙ කියලා. ඒත් ඒකෙ බැරෑරුම්කම ඊට වඩා ගොඩක් වැඩියි කියලා අපි දැනගත්තේ වෛද්‍යවරුන්ගෙ ප්‍රතිචාරයත් එක්ක. “දරුවො තුන්දෙනෙක්වවත් අඩුම ගාණෙ මේ වෙලාවෙම නැති කරන්න ඕන. එහෙම නැතිව ඉපදුණත් දරුවො වැඩෙන්නෙ නෑ, මැරෙනවා. ජීවත් වුණත් හෘද රෝග, විවිධ ආබාධ සහිත සහ සින්ඩේ‍රා්ම් වැනි දරුවො තමයි” කියලයි ඒ අය කිව්වෙ. හැබැයි අපි දෙන්නම කිව්වා දරුවො එක්කෙනෙක්වත් නැති කරන්න බෑ කියලා.
මම අම්මෙක්නෙ. මම කොහොමද මගෙ දරුවො නැති කරන්න කියන්නෙ. අපි දෙවියන්ගෙන් ඉල්ලුවා අපිට පිහිට වෙන්න කියලා. අපිට දීපු තෑග්ග ඒ විදියටම රැකදෙන්න කියල එකයි අපේ ඉල්ලීම වුණේ. අන්තිමේ දෙවියො අපි දිහා බැලුවා.

 

එක දරුවෙක් ඉපදිලා සති 2න් ගෙදර එද්දි අනෙක් හතර දෙනාට මගේ ළඟට එන්න මාස එකහමාරක් රෝහලේ ඉන්න වුණා…
විශ්වාස කරන්නෙ නෑ… එක්කෙනෙක් වැඩිල තිබුණෙ සති 24යි. එයාට හුස්ම ගන්නවත් බෑ. ඉතින් අම්ම කෙනෙක් හැටියට මමත් තාත්තා කෙනෙක් හැටියට මහත්තයත් ඒවා බලාගෙන හිටියෙ හරිම අමාරුවෙන්. මේ අයගෙ මුහුණු අතපයවත් හරියට වැඩිල තිබුණෙ නෑ. හැමෝම දරුවො හොඳයි කිව්වට මම ගොඩක් අසාධ්‍යව හිටපු නිසා මම දරුවො දැක්කෙ නෑ. දරුවො ලැබුණු ගමන් දරුවන්ගෙ තාත්තත්, මගේ තාත්තත් ඒ අයව දැකලා තියෙනවා. අත්තටම හරියට වැඩිල ඉඳල නෑ. මට දරුවො ලැබෙන්න ප්‍රසූතිකාගාරයට ගන්නකොටත් සිහිය නැහැ. මට දීපු බෙහෙත්වලට වකුගඩු පවා නරක් වෙලා, මාව ජීවත් කරවන්නවත් බැරිවෙයි කියල වෛද්‍යවරු අම්මටයි සැමියටයි කියල තිබුණා. ඒත් දෙවියන් වහන්සේ සියල්ල විසඳුවා. එක දරුවෙක් සති 2න් මගෙ අතට ලැබුණා. අනෙක් හතර දෙනාවම මාස එකහමාරකින් ගෙදර ගෙනාවා.

 

කිරි දුන්නෙ, අතට ගත්තෙ පවා ක්‍රියා පටිපාටියකට, මාරුවෙන් මාරුවට…
දරුවො ගොඩක්ම පුංචි නිසා සහ මම දුර්වල නිසා පස්දෙනාටම මව්කිරි නම් දෙන්න ලැබුණෙ නෑ. එන්ෆාමිල් මාස 9ක්, නෙස්ලේ මාස 4ක් ඉඳල දිගටම ඇන්කර් 1+ තමයි දුන්නෙ. රෑට ගෙදර ඉන්න හැමෝම එකතු වෙලා දරුවන්ට කිරි පොවනවා. ඉස්සෙල්ලම අඬන බබාව මුලින්ම අතට අරන් කිරි දීලා තොටිල්ලට දානවා. එයාව ආයෙ ඊළඟ පැය තුන යනකල් අතට ගන්නෙ නැහැ. නාවන්නත් බැහැ චූටි නිසා. ඇඟ සෝදන්න වුණෙත් තෙමන එක විතරයි. ඒවා සේරම එක්කෙනෙක්ගෙන් පස්සෙ එක්කෙනෙක් විදියට පිළිවෙළට කරගෙන ගියා.

 

දරුවො බලාගන්න අමාරුයි කියන එක අම්මලාගේ මිථ්‍යාවක්… දරුවො 5ක් හිටියත් අපිට ඒක කරදරයක් වුණේ නෑ…
මට දරුවො ලැබෙන්නෙ අවුරුදු 23න්. මම එතකොට මුකුත් දන්නෙ නෑ. මගෙ සැමියා, අම්මා හැම වෙලාවෙම මාව ශක්තිමත් කළා. ධෛර්යමත් කළා. මම අසනීප වුණු, වැටුණු හැම වෙලාවකම ඒ අය මාව නැගිට්ටුවා. මගෙ තාත්තා, මල්ලි වගේම සැමියගෙ අම්ම, තාත්තා, අක්කා ඇතුළු අපේ පවුල්වල අය, අසල්වැසි ගොඩක් අය මුල් කාලෙ දරුවො බලාගන්න දීපු සහාය කවදාවත් අමතක කරන්නෙ නෑ. දවසට තුන් හතරපාර ඉස්පිරිතාලෙ ගියත් වැඩ අතපසු කරගන්නෙ නැතුව හැමදේම කරගත්තා. රූටින් එකකට හැමදේම කළ නිසා පහසුයි. ටිකක් වැඩෙනකොට අපි උදේට සාලෙ පැදුරක් දාලා 5 දෙනාවම තියල 11 විතර වෙනකල් අපිත් එතන ඉන්නවා. ඊළඟට නාවන වෙලාව ආවහම නාවල තොටිල්ලට දැම්මම පැය 2ක් 3ක් නිදාගන්නවා. ඇත්තටම දරුවො බලාගන්න එක කරදරයක් වුණේ නෑ. ටික ටික ලොකු වෙද්දි ඒ අයත් වෙලාවට තියෙන පිළිවෙළකට සියල්ලම කරන්න පුරුදු වුණා. තියෙන ලොකුම බය ආරක්ෂාව. ඒ අයව දැනටත් මම ඒ ගැන දැනුම්වත් කරල ඇහැගහගෙනම ඉන්නවා.

 

නිවුන්නු වුණත් එක එක්කෙනා එක එක විදිහයි…
මේ පස්දෙනා එකම වෙලාවට එකම දේ කරනව කියල නෑ. එක එක්කෙනා එක එක විදිහයි. දුවල තුන්දෙනාගෙන් වැඩිමල් දෙන්න ගොඩක්ම කොල්ලො වගේ. එක්කෙනෙක් නම් ටිකක් නංගි වගේ ඉන්නවා. කොල්ලො දෙන්න නම් ගොඩක් එක වගේ තමයි. 5 දෙනාගෙන් තුන්දෙනෙක්ගෙ වැඩ සමානයි. දෙන්නෙක් ඉක්මනින් සිංහල අල්ල ගන්නවා අඩුයි. සමහර වෙලාවට රණ්ඩු, නඩු අපිටත් එනවා. ඒත් 5 දෙනාගෙ සමගියෙත් අඩුවක් නෑ. එකිනෙකාට උදව් කරගන්න පුරුදු වෙලයි ඉන්නෙ.

ඉගෙන ගන්නේ සිංහලෙන්. ගෙදර භාවිතය සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියෙන්.
අපි බර්ගර් ජාතික ක්‍රිස්තියානි ආගමිකයෝ. අපි ගෙදර භාවිත කරන්නෙ ඉංග්‍රීසි. ඒත් සිංහල රටක ජීවත් වෙන නිසා අපි මේ අයට උගන්නන්නෙ සිංහලෙන්. මෙතෝදිස්ත විද්‍යාලයටත්, ශාන්ත ජෝෂප් විද්‍යාලයටත් තමයි යන්නේ. දුවල තුන්දෙනා ඉස්කෝලෙ එකම පංතියේ. පුතාල දෙන්නත් එක පන්තියේ. ඒ පස්දෙනාට පස්දෙනා ඉන්න නිසා පාළුවක් නෑ. කරදරයක් නෑ. සෙල්ලම් කරනකොට, දුවන පනිනකොට සාමාන්‍ය දරුවො වගේම දඟයි. දුවලට ඉස්කෝලෙදි වෙන වෙන යාළුවො කොච්චර හිටියත් එක්කෙනෙක්ගෙ ප්‍රශ්නෙකදි තුන්දෙනාම එක පැත්තෙ. පුතාලත් එහෙම තමයි. මල්ලි ටිකක් අයියට වඩා වැඩ පෙන්නගෙන යන්නයි උත්සාහ කරන්නෙ. ගණිතයට ගොඩක් දක්ෂයි කියල පේනවා.

අම්මා හරිම ආදරයෙන් දරු පැටවුන්ගේ දඟ වැඩ, හුරතලේ විස්තර කරද්දි ආච්චි අම්මා අහන ගණිත ගැටලුවලට පුංචි කටවල් උල්කරකර සිඟිති ඇඟිලි පොඩි නව නව පැටව් පස්දෙනා තරගයට වගේ උත්තර දෙනවා… බිල්ඩින් බොක්ස් ගොඩක් මැද්දෙ පෙරළිලා, කෝච්චි, ගෙවල් හදන ගමන් එකම එක ආමන්ත්‍රණයකින් සංසුන් වෙන්නත්, කියන වැඩ ක්ෂණයකින් කරන්නත් පුදුමාකාර පළපුරුද්දක් වගේම සංවරකමක් මේ කිඳුරු කිඳුරියො පස්දෙනාටම උගන්වල තිබුණා.

 

අමතර කෑම වේලවල් නෑ. ප්‍රධාන වේල තුනම දෙන ඕනම දෙයක් කරදරයක් නැතුව කනවා. තනිවම වැඩ කරගන්නත් පුරුදු වෙලයි ඉන්නෙ…
මේගොල්ලන්ට ක්ෂණික කෑම, අමතර කෑම වැඩිය පුරුදු කරලම නැහැ. ප්‍රධාන වේල් තුනට දෙන දේ සේරම කනවා. මැල්ලුම් බෑ, අරව බෑ, මේව බෑ කියල කිසි කෙනෙක් කරදර කරන්නෙ නැහැ. අවුරුද්දෙ ඉඳලම අපිට උයන විදියටම එයාටත් උයල දුන්නා. ඒගොල්ලන්ගෙ වැඩ ඒගොල්ලම කරගන්නවා. ඉස්කෝලෙ ගියත් තාත්තා 5 දෙනාවම සෝදල දුන්නහම පිළිවෙළට එල්ලල නම් ගහල තියෙන නිල ඇඳුම් ඇඳගෙන, මේස් දාගෙන සූදානම් වෙන්නෙ ඒ අයමයි. මට තියෙන්නෙ දුවලගෙ කොණ්ඩෙ පීරන්න විතරමයි.

 

දරුවො අවනත කරගන්න ටීවී දාලා දෙන්නෙවත්, කාටූන්වලට හුරු කරලවත්, මොබයිල් අතට දෙන්නෙවත් නෑ. ගෙදර බෝනික්කො නෑ. හැමෝම කැමති වාහනවලට.
මම කලින් පෙරපාසල් ගුරුවරියක්. මම දරුවො හදන්නෙ කොහොමද කියල දන්නව. අම්මල කරගන්න ලොකු වරද තමයි දරුවන්ව බලාගන්න ලේසි වෙන්න ටීවී, කාටූන්, මොබයිල් දීලා නිශ්ශබ්ද කරවනවා. මේ අයට ඒව තහනම්. අවශ්‍යම වෙලාවට පොඩි වෙලාවක් දාලා දුන්නත් ඒවා ඒ අයට අල්ලන්න තහනම්. ඒ වෙලාවට දරුවො නිශ්ශබ්ද වුණත් පස්සේ අම්මල දුක්වෙනවා ඒවට ඇබ්බැහි කරපු එක ගැන. මම නම් මගෙ දරුවො පස්දෙනාම එහෙම හුරු කරන්නෙ නෑ. විශේෂම දේ තමයි එක බෝනික්කෙක් මේ ගෙදර නෑ. ඒ අය කැමති වාහනවලට. ඒවා තමයි එයාලගෙ ලෝකෙ.

 

අපි දෙන ඇඳුමට ඒ අයත් කැමතියි. වෙලාවට වැඩ කරන එකත් අනිවාර්යයි.
මම තෝරල දෙන ඇඳුම් තමයි එයාල අඳින්නෙ. ඇඳුම් ගන්න එකත් ලේසි නැති නිසා මම නත්තලට, උපන්දිනවලට ලැබෙන ඇඳුම් එකතු කරගෙන තියාගෙන ඉඳල එක විදියටයි අන්දන්නෙ. වෙලාවට කන්න, බොන්න, සෙල්ලම් කරන්න, සෙල්ලම ඉවර වුණාම අස් කරන්න ඒ අයම පුරුදු වෙලා තියෙනවා. රෑ 8.00 හරියටම ඇඳට යවනවා වගේම ඉස්කෝලෙ යද්දි 5.15ට ඇහැරෙන්නත් ඕන. නිවාඩු කාලෙට නම් වෙලාවක් නෑ. එතකොට සින්දු, කතා කිය කිය ඉන්නවා. අපිට හොරෙන් සිංහල කතා කරන්නෙත් ඒ වෙලාවටම තමයි. කොහොම වුණත් මේ 5 දෙනා කිසිම කරදරයක් නැති දරුවො පස් දෙනෙක්.

පොඩි දරුවො දඟයි. ඒත් විනීතකම ඒ අයට ගොඩක් වටිනවා. මේ අම්ම ඒ දරුවන්ගේ විනීතකම පිළිවෙළ ගැන කතා කළේ හරිම ආඩම්බරයෙන්. දරුවො කන්නෙ නෑ කියන අම්මලටත්, දරුවො බලාගන්න අමාරුයි කියන අම්මලටත් හැමදේටම ආර්ථික ප්‍රශ්න ඉදිරියට දාන අම්මලටත් මෙලීසත්, ඩෙන්වර්ත් දුන්නෙ හොඳ ආදර්ශයක්. ඒ අය කියන විදියට ඒ අය මහා පොහොසත් අය නෙවෙයි. නමුත් හැමදේටම නෑ, බෑ කියාගෙන අනුන් කරනකල් බලාගෙන ඉන්නෙත් නෑ.
අපි මේ දරුවො ගැන අවුරුදු ගාණකට පස්සේ යළිත් කතා කරන්නෙ මේ කිඳුරු පවුල පසුගිය දවසක අලුත් ජීප් රථයක් මිලදී ගන්න “මයිකේ‍රා්” ආයතනයට ආපු වෙලාවෙ. පුංචි පැටව් 5 දෙනත් අම්මත් තාත්තත් එදා ආවෙ ඔවුන්ගෙ සිහින වාහනය මිලට ගන්න. පැටවුන්ගේ ආසාව වුණේ රතු පාටට වුණත් අන්තිමේ 7 දෙනාගෙම තීරණයට අනුව සුදුපාට අලුත් ජීප් රථයක් පැටවුන්ගෙ සුවපහසුවට ඔවුන් මිලදී ගන්නවා. මේ පැටව් පස්දෙනා අලුත් වාහනේට දාපු නම “බ්ලේස්”. අම්මා කියන විදියට ඒ අය මේ වාහනේ ගන්නෙත් තියෙනකමකටවත්, ලොකුකමකටවත් නෙවෙයි, දරුවො එක්ක ගමන් බිමන් යන්න තිබුණු වාහනය මදි නිසාමයි.


මේ අයට කවදාවත් දරුවො 5ක් ඉන්නවා කියල රජයෙන්වත්, වෙනත් ආයතනයකින්වත් කිසිම ආධාරයක් ලැබිල නැහැ. අදටත් ඔවුන් ජීවත් වෙන්නෙ මාලඹේ ප්‍රදේශයේ කුලී නිවෙසක. මාසෙකට 25,000ක කුලියට අමතරව රජයේ පාසලක් නොලැබීම නිසා පාසල්වලට යන ගාස්තු, අමතර වියදම් එක්ක ඔවුන්ට ආර්ථික වියදම දරන්න බැරි වුණත් ඔවුන් ඒ ගැන හිත හිත පසුබසින්න කවදාවත් කටයුතු කළේ නෑ. උපකාර ලැබුණු අවස්ථාත් ඔවුන් කියන්න අමතක කළේ නෑ. විශේෂයෙන්ම පුංචි කාලෙ දරුවො බලාගන්න උදව් දීපු හැමෝටමත් ඒ අය ස්තුති කළා.

“වියදම වැඩියි, දරාගන්න බෑ කියල අපිට කාගෙන්වත් ඉල්ලන්න යන්න බැහැනෙ. ලස්සනට අඳින්නෙ නැතුව, නොකා නොබී ඉන්නත් බැහැ. සැමියා වැඩ කරන ‘හේලීස්’ ආයතනයෙන් අද වෙනකල් විශාල හයියක් ලැබෙනවා. ඒ අතරේ අපි පුළුවන් විදියට ණයවෙලා හරි දරුවන්ට උගන්වන්න, හොඳින් හදාගන්න මහන්සි වෙනවා. දැන් මේ අය තමයි අපේ ලෝකෙ. අපේ ජීවිතවලට මීට වඩා සතුටක් තියෙන්න විදියක් නෑනෙ…..”

ඒ තමයි ඒ ආදරණීය අම්මගෙ සිතිවිල්ල. කොහොම වුණත් මේ සටහන බලන වගකිවයුතු බලධාරීන් ඔවුන්ට නිවෙසක් ලබාදෙන්න හරි යම් උදව්වක් කරන්න හරි ඉදිරිපත් වෙනව නම් එයයි අපෙත් ප්‍රාර්ථනය.. ඔය විදිහට හෝරා 2කට ආසන්න කාලයක් ඒ කිඳුරු කොදෙව්වෙ රැඳුණු අපිත් එන්න පිටත් වුණා. ඒ “Bye, God Bless You…” කියන ඒ චූටි කටවල්වලින් ආපු සොඳුරු වදන්වලින් කන් පුරවගෙනයි…


සටහන _ චාමිකා මුණසිංහ
ඡායාරූප – දිල්හාන් විමල්ක

Leave a Response