විසිතුරු

උඩම තිබිලා බිමටම වැටුණු කොළඹ හතේ “ඔටස්” ක්ලබ් එක

උඩම තිබිලා බිමටම වැටුණු කොළඹ හතේ "ඔටස්" ක්ලබ් එක
23views

1933 වසරේදී ජලය හා සම්බන්ධ ක්‍රීඩාවන් නගා සිටුවීම වෙනුවෙන් කොළඹදී ආරම්භ කළ ඔටස් ක්ලබ් පසුගිය කාලය පුරා කොළඹ ජනප්‍රිය ස්ථානයක් බවට පත් වූයේ හැන්දෑවට යමක් සප්පායම් වීමට කදිම තැනක් වීම නිසාය. ඒ කදිම අවස්ථාව උදා වූයේ ඔටස් ක්ලබ්හි සාමාජිකයන්ටය. වසර ගණනාවක් තිස්සේ ආයතනයක් ලෙස ලාභ ලබමින් තම සාමාජිකටයන්ට සුවිශේෂී සේවාවක් සැලසූ ඔටස් ක්ලබ් මේ වනවිට 6000කට අධික සාමාජිකයන්ද දැඩි දුෂ්කරතාවකට පත් කරමින් එදා වේල ටුවර්ස් පන්නයේ ආයතනයක් බවට පත්ව ඇත. ඒ එහි වත්මන් මෙන්ම හිටපු කමිටු සාමාජිකයන්ගේ සුවිශේෂී කළමනාකාරීත්ව හැකියාවට පින් සිදුවන්නටය. අද ඔටස් කලබ් යනු මධ්‍යම පාන්තික නිවසකි. සාමාජිකයෙකු තම මිතුරන් හෝ පවුලේ හිතවතුන් සමග ක්ලබ් එකට ගියහොත් තමන් කැමති දේ කන්නටත්, බොන්නටත් හැකියාවක් නැත. කනවා නම් එතනින් දෙන දෙයක් පමණය. බීම සීමාසහිතය. ඒ අද ඔටස් ක්ලබ්හි තත්ත්වයයි.
ඒ අප දකින තත්ත්වයයි. ඒ තත්ත්වය දකින්නට සිදු වූ කරුණු කිහිපයක් මෙහිදී පෙන්වා දීම ඔටස් ක්ලබ් අද තිබෙන තත්ත්වයෙන් තවත් පහළට වැටීම වළක්වා ගැනීමට කෙසේ වුවද ඔටස් ක්ලබ්හි සැබෑ තත්ත්වය තේරුම් ගැනීමටවත් හේතු වනු ඇත.
සාමාන්‍යයෙන් ලියාපදිංචි මෙන්ම ආදායමක් උපයන ආයතනයන් විගණනයකට ලක් විය යුතුය. එසේ විගණනයකට ලක්වන්නේ ස්වාධීන විගණන ආයතනයක් මගිනි. විගණනයට ලක් වීමට පෙර ආයතනයෙහි තත්ත්වය පිළිබඳව විගණන ආයතනය දැනුම්වත් කිරීමේ වගකීම ආයතනික කමිටු සාමාජිකයන්ගේ වගකීමකි. එහිදී 2017 වසරේ ඔටස් කල්බ්හි තත්ත්වය පිළිබඳව විධායක කමිටුවේ අනුමැතිය සහිත මූල්‍ය වාර්තාව සම්බන්ධයෙන් විගණන ආයතනය පවසන්නේ මෙවැන්නකි.

“the member of general committee has made an assessment of the club ability to continue as a going concern but they are not satisfied that the club has enough resources its operation for a foreseeable future…….

ආයතනය අඛණ්ව පවත්වාගෙන යාම සඳහා ඔවුන්ගේ මට්ටමින් සිදු කරන ලද තක්සේරුවකදී ඔවුන් පිළිගනු ලැබුවේ ආයතනය ඉදිරියට පවත්වාගෙන යා හැකි තත්ත්වයක නොමැති බවයි. එසේම එහි තවදුරටත් සඳහන්කර ඇත්තේ අවුරුදු 2ක් 3ක් හෝ ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවයි. ඒ ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැති බැවින් බව විගණන ආයතනය තහවුරු කර සිටියි.
විගණන ආයතනයේ වාර්තාව මගින් පවසන ආකාරයට මෙම ආයතනය පවත්වාගෙන යාමට හැකියාවක් නොමැත. එසේ හෙයින් ඔවුන් පවසන්නේ මෙය වසා දැමිය යුතු බවයි.
එම මූල්‍ය වාර්තාවන් සඳහන් කරන ආකාරයට 2015 වසරේ ආදායම රුපියල් මිලියන 22කි. 2016 වසරේ එය මිලියන 26ක් ලෙසද 2017 වසරේ එය 41ක් ලෙසද සඳහන්ව තිබුණද අතිරික්තය හෙවත් ලාභය සලකා බැලීමේදී එම තත්ත්වය ඒ ආකාරයෙන් දක්නට නොලැබීම පුදුමයට කරුණකි. ලාභය සැලකීමේදී එය වසරින් වසර දැඩි කඩා වැටීමට ලක්ව ඇති බව මනාව තේරුම්ගත හැකිය.
2015 හා 2016 වසර දෙකේදීම රුපියල් මිලියනයක ලාභයක් ලබන ඔටස් ක්ලබ් 2017 වසර අවසන් වනවිට රුපියල් මිලියන 41ක ආදායමක් ලැබූවද ලාභ ලබා ඇත්තේ රුපියල් ලක්‍ෂ 5ක් පමණකි. අනෙකුත් වසරවලට සාපේක්‍ෂව දෙගුණයක පමණ අධික ආදායමක් ලබා සිටියදීත් එම වසරවලද ලාභයන්ට වඩා දෙගුණයකින් ලාභය අඩුවීම අතිශයින්ම හාස්‍යජනකය. එය සිදුව ඇත්තේ කෙසේදැයි සොයා යාමේදී තවත් බොහෝ දේ නිරාවරණය විය. ඒ ඔටස් ක්ලබ්හි කමිටු සාමාජිකයන්ගේ වැඩ කිඩය.
ඔටස් ක්ලබ්හි රෙස්ටුරන්ට්හි සේවාව ලබා ගැනීම වෙනුවෙන් කමිටු සාමාජිකයන්ට ලබා දී ඇති වරප්‍රසාදයන් රෙස්ටුරන්හි ආදායම් පහළ යාමට විශේෂ හේතුවක්ව ඇත. සාමාන්‍යයෙන් කමිටු සාමාජිකයන්ට පමණක් නොමිලේ ආහාර ලබා ගැනීමේ හැකියාව ඇතත් මෙහිදී මොවුන් සිදු කර ඇත්තේ එය වවාගෙන කෑමකි. ඔවුන්ගේ බිල් ලක්‍ෂ ගණනිනි. එහෙත් ඒවා ගෙවීමක් නැත. තමන්ගේ හිත මිතුරන්ට මෙන්ම පවුලේ සාමාජිකයන්ටද සිතු සේ සංග්‍රහ කරන්නට කමිටු සාමාජිකයන් පෙලඹී ඇත්තේ ඔවුන්ට මෙසේ ලබා දී ඇති වරප්‍රසාදයන් හේතුවෙනි. අවසානයේ පාඩු ලබන්නේ තමන්ගේ ආයතනය වන අතර පීඩාවට ලක්වන්නේ තමන්ගේ සාමාජිකයන් බව ඔවුන් හොඳින්ම දනිති. එහෙත් ඔවුන් මෙය නවත්වන්නේ නැත. ඒ නිසා ඔටස් ක්ලබ් හෙට දවසේ වසා දමන්නට සිදුව තිබේ.
මෙහි අවාසනාවන්ත තත්ත්වය වන්නේ කමිටු සාමාජිකයන් 12 දෙනෙකුගේ මෙම අත්තනෝමතික ක්‍රිියා කලාපයන් පිළිබඳ ආයතනයේ ඉහළ නිලධාරීන් ලෙස කටයුතු කරන පුද්ගලයන්ද නිහඬව සිටීමයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ එම භාරකාර නිලධාරීන්ද මෙම වංචාවන් හා සම්බන්ධ වීම බව එහි සාමාජිකයන් පවසති.
සාමාන්‍යයෙන් සාමාජිකයකු ඔටස් ක්ලබ්හි මත්පැන් පානය කළහොත් එම බිල එදිනම ගෙවිය යුතුය. එසේ නොගෙවනු ලබන්නේ නම් සති දෙකක් ඇතුළත ඒ පිළිබඳ ලිඛිත දැනුම්දීමක් සිදු කරයි. එහෙත් ආයතනයේ සමහර සාමාජිකයන්ගේ බාර් බිල රුපියල් ලක්‍ෂ 9කි. එම පුද්ගලයාම ආයතනයෙන්ද ලක්‍ෂ 14ක මුදලක් ලබා ගෙන ඇත. මේ සියලු දේ තුළින් සිදු වන්නේ ආයතනය තව දුරටත් අගාධයට වැටීම පමණකි.
තවද ඔටස් ක්ලබ් වෙත මත්පැන් සපයනු ලබන ආයතන වෙත ගෙවීමට ඇති මුදල රුපියල් මිලියන 9කි. එසේ හෙයින් එම ආයතනයන් ඔටස් ක්ලබ් වෙත මත්පැන් සහ බියර් සැපයීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔටස් ක්ලබ් වර්තමානයේ මත්පැන් මිලදී ගනු ලබන්නේ මත්පැන් අලෙවිකරුවන්ගෙනි. බලපත්‍රලාභී ආයතනයක් ඒ ආකාරයෙන් අලෙවිකරුවන්ගෙන් මත්පැන් සහ බියර් මිලදී ගැනීම නීති විරෝධී කටයුත්තක් හේතුවෙන් ඒ සඳහා සුරා බදු අධිකාරිය නීතිමය පියවර ගෙන ඇත. එහිදී රුපියල් මිලියන තුනකට ආසන්න මුදලක් දඩ ලෙස ගෙවීමට ඔටස් ක්ලබ් ආයතනයට සිදුව තිබූවද පසුව සාටකය පලඳන ආණ්ඩුකාරවරයකුගේ මැදිහත් වීම මත අදාළ දඩ මුදල් දෙලක්‍ෂ තිස් දහසකට පමණ අඩු කර ගැනීමට ආයතනයේ නිලධාරීන් කටයුතු කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ මුහුණ පුරා රැවුල වවාගත් දේශපාලකයකුගේ මැදිහත්වීම මතය. ඔටස් ක්ලබ් වසර 22කින් අය විය යුතු වරිපනම් බදු ගෙවා නොමැති අතර එහි එකතුව රුපියල් මිලියන 50ක් ඉක්මවයි. තවද වසර 6කට රජයට අය විය යුතු වැට් බදු මුදල් මිලියන 94ක් ගේවීමද ඔටස් ක්ලබ් ආයතනය පැහැර හැර ඇත්තේ ආයතනික සේවකයන්ගේ වැටුප් ගෙවීමද නතර කර ඇති පසුබිමකය. සේවක අර්ථ සාධක අරමුදල්ද මාස කිහිපයකින්ම ගෙවීමට ඔටස් ක්ලබ් අසමත් වී ඇත්තේ ආයතනයේ වැටීම මනාව ප්‍රදර්ශනය කරමිනි.
ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය සඳහා ක්‍රිඩා උපකරණ මිලදී ගැනීමේදීද ඉහතකී කමිටු නිලධාරීන් ලක්‍ෂ ගණනක වංචාවක් සිදු කර ඇති බව සඳහන්ය. ඒ පිළිබඳව අප වෙත තොරතුරු සැපයූ ආයතනික සාමාජිකයකු සඳහන් කරනු ලැබුවේ මිලියන 10ක ශාරීරික යෝග්‍යතා උපකරණ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව පිටකොටුව බණ්ඩාර ඇන්ඞ් සන්ස් ආයතනයෙන් මිලදී ගෙන ඇති බවයි. සාමාන්‍ය නීතිය අනුව ආයතනයට ඒ ආකාරයෙන් ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේදී ටෙන්ඩර් කැඳවිය යුතුය. මෙහිදී විකුණුම්කාර ආයතනයද පිළිගනු ලබන කරුණක් වනුයේ අදාළ උපකරණයන්හි බිල රුපියල් මිලියන 8ක් බවයි. එහෙත් ආයතනයේ මූල්‍ය සටහන්වල එය මිලියන 10ක් ලෙස සඳහන් වන්නේ කමිටු සාමාජිකයන් වංචනිකයන් බවට පත් කරමිනි.
ඔටස් ක්ලබ්හි සාමාජිකත්වය ලබා ගැනීමට මෙන්ම එය පවත්වාගෙනයාමට වාර්ෂිකව සාමාජිකයන් විසින් විශාල මුදලක් ගෙවිය යුතුය. සාමාජිකයන් 6000කින් සාමාන්‍යයෙන් වාර්ෂිකව එක්වන මුදල දළ වශයෙන් මිලියන 25කට ආසන්නය. එය වාර්ෂිකව එක්වන්නකි. වර්තමාන කමිටු සාමාජිකයන් හිතුමතේ වියදම් කරනුයේ ඒ සාමාජිකයන්ගේ මුදල්ය.
ඔටස් ක්ලබ්හි මේ වනවිට සිදුවන සියලු වංචා දූෂණයන් දිග හැරීමට මේ මුද්‍රිත ඉඩ කඩ ප්‍රමාණවත් නැත. එහෙයින් මේ පිළිබඳ තවත් බොහෝ තොරතුරු ඉදිරියේදී හෙලි කිරීමට අප සූදානම් බව මතක්කර සිටිමු.


අසංක ධර්ම ශ්‍රී

Leave a Response